පාම් ඔයිල් තහනම් කළේ රෝග කාරකයක් නිසායි….! නමුත් සුසංගත කාණ්ඩේ ගේන්න පුළුවන්….!

April 9, 2021 at 10:52 am | by emanisa.lk

පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බවට වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබූ බව ද එහි සඳහන් වේ.

එහෙත් බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනයේ දී සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිත කෙරෙන බවත් 1511.90.10 සුසංගත කේතාංකය සහිත ප්‍රභේදය එවැන්නක් බවත් එහි දැක්වේ.

එය ව්‍යවහාරයේ දී පාම් ස්ටියරින් ලෙස හඳුන්වන අතර අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස මෙම ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නැතැයි ද නිවේදනයේ සඳහන් කර ඇත.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතළ විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබුවත් සායනික අවශ්‍ය සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී ඇති බවත් පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරය ද එබඳු එකක් බවත් එහි සඳහන්ය.

කටුපොල් වගාව මගින් ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරු වීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබෙන බැවින් කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06කට පමණ පෙර ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර දැනට තිබෙන කටුපොල් වගාව අදියරෙන් අදියර ගලවා ඉවත් කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගා කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *