ජන පීඩක ඔන්ලයින් පනත සමගි ආණ්ඩුව ආව ගමන් අහෝසි කරනවා..! – සජිත්…

January 29, 2024 at 9:38 am | by emanisa.lk

ජන පීඩක මාර්ගගත සුරක්ෂිතතා පනත සමගි ජන බලවේග රජයක් පත් වූ වහා ඉල්ලා අස්කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ලකා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙමගින් ත්‍රස්තවාදීයා සහ දේශප්‍රේමියා කවුද කියා තීරණය කිරීමට දේශපාලන අධිකාරියට හැකියාව ලැබෙන බවත් දේශපාලන මත දැරීමේ අයිතිය සහමුලින්ම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ අනුමත කර ගත් පනත හරහා රජයට තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බවත් එය මාස කිහිපයකට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජන පීඩක මෙම පනත ඉල්ලා අස් කර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *