ජනාවාසකරණය සහ වනාන්තරකරණය

March 23, 2019 at 10:15 am | by admin

රටේ ශේෂ වී ඇති වනාන්තර ස්වල්පය කපමින් සහ සෙසු බිම්වල ලොතරැයි කූඩු වැනි පෙට්ටි ගෙවල් ගසමින් රිෂාඩ් බදූර්දීන් සහ සජිත් ප්‍රේමදාස ගෙන යන අදූරදර්ශී අමන ජනාවාසකරණ සැලසුමින් ඔබ්බට ගිය නවීන ජානාවාසකරණ සැලසුමක් රටට අවශ්‍ය වී තිබේ. එසේ නොවුණහොත් මෙම යල්පැනගිය ජනාවාසකරණය නිසා සමස්ත පරිසර පද්ධතිය අසමතුලිත වී ඉතා නුදුරේදීම අප හිස මතට කඩා වැටෙනු ඇත.

ජනාවාසකරණයේ දී මහල් නිවාස ක්‍රම සඳහා ප්‍රමුඛතාව දිය යුතු අතර ඒ සඳහා ද හැකි සෑම අවස්ථාවකම වගා නොකළ හැකි මුඩුබිම් තෝරාගත යුතුය. එමගින් රටේ දැනට පවතින වන බිම් ප්‍රමාණය රැක ගැනීමට පමණක් නොව වැඩි කිරීමට ද කටයුතු කළ යුතු අතර වගා කළ හැකි බිම් ආරක්ෂා කරගත යුතුය. නිවාස පමණක් නොව මහ මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු පරිසර සංවේදී සැලසුමකට අනුව දියත් කළ යුතුය. ඒ සියල්ල ස්වභාවික පරිසරයේ උපාංග බවට පත් කරගත යුතුය. මෙම සැලසුම් සකස් කිරීමේ දී මිනිසා පරිසරයේ අයිතිකරුවෝ නොව භාරකරුවා පමණක් බවත් සෙසු ගහ කොළ සතා සීිපාවා පණ ගැහෙන සජීවී කොටසක් බවත් අමතක නොකළ යුතුය.

රටේ සිදුවන නාය යෑම් අවම කර ගැනීමට, ගොවිතැන ආරක්ෂා කර ගැනීමට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ද එවැනි වැඩපිළිවෙළක් උවමනාය. මෙවැනි සැලසුමක් මගින් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම්, වඳුරන් රිලවුන් ගම් වැදීම, අලි දුම්රියවලට ගොදුරුවීම වැනි බොහෝ ඛේදවාචකවලට විසඳුම් ලබාගත හැකිය. අතීතයේ හෝ වර්තමානයේ අප හිතවත් දේශපාලන කඳවුරුවලින් යම් වන විනාශයක් වූ නිසා එය සාධාරණීකරණය කරන දීන වහල් සාපරාධී ක්‍රියාව අප නොකළ යුතුය.

එපමණක් නොව පරිසර හිතකාමී ජනාවාසකරණය සහ වනාන්තරකරණය එකමුතු කළ නැවුම් සැලසුමක් වෙනුවෙන් ගතානුගතික පක්ෂ දේශපාලන ගොහොරුවල වඳ පීදුණු නායකයන් වෙනුවට නැවුම් දේශපාලන දැක්මක් සහිත නායකත්වයක් වෙත රට භාර දිය යුතුය. එසේ නොමැතිව දේශපාලන වාසි උදෙසා අලුත්ගම පන්නයේ අර්බුද නිර්මාණය කිරීමට උත්සාහ කරන බලවේගවලට හසු නොවිය යුතුය. එවැනි අවතාර විල්පත්තුවේ පමණක් නොව පානදුරේ ද වෙනත් ඕනෑම තැනකට ද පාදූර්භූත විය හැකිය. ඒවායේ ඇල්ම බැල්ම වැටී ආවේස වීම මේ ගැටලුවලට සැබෑ විසඳුම ලබාගත හැකි මාර්ග අහිමි කරනවා පමණක් නොව යක්ෂයාගේ දත් උල් කිරීමක් ද වනු ඇත.

නාමල් උඩලමත්ත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස