ගුරුවරු 5000ක් රට හැර යති..! තවත් 5000ක් වසර අග විශ්‍රාම ලබති…! අධ්‍යාපනය අවදානමක..!

August 18, 2023 at 4:13 pm | by emanisa.lk

2022 දෙසැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ සහ වැටුප් රහිත නිවාඩු ලබා දෙන, සේවයෙන් ඉවත් වූ ගුරුවරුන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ගුරුවරුන් සම්පූර්ණයෙන් ම ගුරු සේවයෙන් ඉවත් වී විදේශගත වීමේ නැඹුරුවක් මේ වන විට ඇති වී තිබෙන බැවින් එය අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීම සඳහා බලපාන බව ය.

සේවයෙන් ඉවත් වී ඇති ගුරුවරුන් අතර වැඩි දෙනෙකු ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, තොරතුරු තාක්ෂණය යන විෂයයන් උගන්වන ගුරුවරුන් බවත් මෙම තත්ත්වය දුෂ්කර පාසල්වල මෙම විෂයයන් සඳහා සිටි එක ම ගුරුවරයා ද අහිමි වීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වසර තුළ රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට තීරණයක් ගෙන ඇති අතර තවත් ගුරුවරුන් 5000කට ආසන්න සංඛ්‍යාවක් වසර අග විශ්‍රාම යාමට නියමිතය. ලංකාවේ ගුරු හිඟය 40000කට ආසන්න වන අතර එය බරපතළ ලෙස බලපා ඇත්තේ, දුෂ්කර පළාත් සඳහා ය.

ප්‍රියන්ත ප්‍රනාන්දු තව දුරටත් සඳහන් කළේ, වෙනත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය බඳවා ගැනීම් සිදු නොකළ ද ගුරු පුරප්පාඩු හැකි තරමින් හෝ පිරවීම රජයේ වගකීමක් වන අතර එය ඉටු කරන ලෙසට තම සංගමය ඉල්ලා සිටින බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *