කෙටි ආණ්ඩු කාලය තුළ අප ලබා දුන් පොහොර සහනාධාරය අහිමි නොකර වී කිලෝවක් රු. 50කට මිලට ගන්න! විපක්ෂ නායක

February 22, 2019 at 1:53 pm | by admin

ගොවි ජනතාවට සාධාරණ මිලක් ගෙවීම හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සුරැකීමට සහතික වී මිල රුපියල් 50 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (20 දා) විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

27 (2) යටතේ විශේෂ ප‍්‍රකාශයක් කළ ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

2018/19 මහ කන්නයේ වී අස්වැන්න ලබා ගැනීම ගොවි ජනතාව මේ වනවිට අරඹා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කර ඇති අතර අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.3 ක් බව පැවසේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වගා කළ බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයක වැඩි වීමක් හා අපේක්ෂිත අස්වැන්න මෙටි‍්‍රක් ටොන් මිලියනයක වැඩි වීමකි.

පොහොර සහනාධාරය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම, වගා කළ බිම් ප‍්‍රමාණය අඩු කිරීමට ප‍්‍රබල හේතුවක් වුණි. ගොවි ජනතාව මුහුණ දුන් ස්වභාවික විපත් ද වගා කළ බිමේ අපේක්ෂිත අස්වැන්න අහිමි කිරීමට තවත් හේතුවකි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී කෙටි කලකට හෝ සිදු වූ ආණ්ඩු මාරුව හේතුවෙන් පොහොර සහනාධාරය යළි ගොවියාට ලබා දීමට අපට හැකි වුණි. එහි ප‍්‍රතිඵල, කන්න 7 ක් දිගින් දිගට පාඩු ලැබූ ගොවියා මෙවර මහකන්නයේ ලබමින් සිටී. පොහොර සහනාධාරය අප ලබාදුන් නිසා නැවත ගොවියාට අහිමි කිරීමට කටයුතු නොකරන ලෙසත් මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල ඇතුළු දිස්ති‍්‍රක්්කයන්හි ලැබෙමින් පවතින වී අස්වැන්න මිලදී ගැනීම සඳහා කල් නොමරා රජය වහා මැදිහත් විය යුතුය.

අවශ්‍යතාව එය වුවත්, ආණ්ඩුවේ දුර්වල කළමනාකාරීත්වය නැවත ප‍්‍රදර්ශනය කරමින් වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත. රුපියල් බිලියන 5 ක මුදලක් වී මිලදී ගැනීමට වෙන්කර ඇති බව රජය පැවසුවද එකී වෙන් කිරීම මෙවර අපේක්ෂිත අස්වැන්න හා සසඳන විට කිසිදු අයුරකින් ප‍්‍රමාණවත් නොවන බව පාසල් යන කුඩා දරුවාට ද වැටහේ.

කෙසේ වුවද රූපවාහිනී, පුවත්පත් සිරස්තල මගින් මුදල් වෙන් කිරීම් පිළිබඳ ප‍්‍රවෘත්ති දක්නට ලැබුණද, මෙතෙක් කිිසිදු ස්ථානයක වී මිලදී ගැනීමක් හෝ ගබඩා විවෘත කිරීමක් සිදුව නැත. සම්බා වී කිලෝවක් සඳහා රු. 41 ක් හා නාඩු වී කිලෝවක් සඳහා රු. 38 ක සහතික මිලක් ඉදිරිපත් කර තිබුණ ද වෙළෙඳපොළේ වී අලෙවි වන්නේ නාඩු රුපියල් 24 ත් 28 ත් අතර මිලකට හා සම්බා රුපියල් 38 ක් වැනි මිලකට බැව් ගොවීහු පවසති.

වෙළෙඳපොළේ වර්තමාන සහල් මිල පිළිබඳ පාරිභෝගිකයන් ලෙස හොඳ අවබෝධයක් අපට ඇත.

පසුගිය වසර ගණනාවක් තිස්සේ සම්බා කිලෝව රුපියල් 120/= ට වඩා අඩු වූයේ නැත. නාඩු කිලෝවක් රුපියල් 80/= කට වඩා පහළට පැමිණියේද නැත. වී මිල සහ සහල් අලෙවි කරන මිල අතර වෙනස සලකා බැලීමේදී අතරමැදියා වී කිලෝවකින් උපයන මිල කොපමණ දැයි ඔබට වැටහේ.

ගොවියාට සාධාරණ මිලක් ගෙවා ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය සුරැකීමට සහතික වී මිල රුපියල් 50/= දක්වා වැඩි විය යුතු යැයි අපි යෝජනා කරමු.

පසුගිය අප ආණ්ඩු පැවැති සමයේ වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය 300 කට ආසන්න ගබඩා ප‍්‍රමාණයක් ඉදිකර ජනතා අයිතියට පවරන ලදී. වර්තමානයේ එම ගබඩා වසා දමා ගොවියාගෙන් සෘජුව වී මිලදී ගැනීමෙන් ආණ්ඩුව ඉවත්ව පෞද්ගලික වෙළෙඳුන්ට රිසිසේ වී අස්වැන්න ඉතා අඩු මිලට රැස් කිරීමට ඉඩ සලසා ඇත.

මහ කන්නයේදී අපේක්ෂිත අස්වැන්න මිලදී ගැනීම, අතිරික්ත තොග ගබඩා කිරීම හා වී අලෙවිය සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා මේ වසරේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේ සඳහා ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් වසර පුරා වී ගොවිතැනේ යෙදෙන ගොවි ජනතාව දැවැන්ත අර්බුදයකට පත් වීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාව ඉතා ඉහළ බැව් ආණ්ඩුවට අවධාරණය කරමු.

මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන වී මිලදී ගැනීම, ගබඩා කිරීම හා ඒවා කළමනාකරණය සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද යන්නත්,
වී ගොවිතැන සඳහා විශාල වැයක් ගොවියා දරා ඇති බැවින්, ඔවුන්ගේ අස්වැන්න සඳහා ලබාදෙන සහතික මිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේද? වසා දමා ඇති වී ගබඩා විවෘත කිරීමට සහ රැස්කරන අතිරික්ත වී තොග කළමනාකරණයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද යන්නත්, මේ ගරු සභාවට පැහැදිලි කරන ලෙස සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *