අවුරුදු 63 සම්පූර්ණ වුව ද යළි සේවයට පැමිණෙන ලෙස ඇරයුම් ලැබූ විශේෂඥ වෛද්‍යවරුන් 53 දෙනෙකුගෙන් යළි සේවයට පැමිණ ඇත්තේ වෛද්‍යවරුන් 7 දෙනෙකු පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වසරේ වයස 63 සම්පූර්ණ වී විශ්‍රාම යා යුතු විශේෂඥ වෛද්‍යවරුන් 69 දෙනෙක් සිටින අතර එයින් මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති 53 දෙනාට යළි සේවයට පැමිණෙන්නැයි කළ ඇරයුම අනුව මෙම හත්දෙනා සේවයට එක්ව පෙර සේවය කළ ස්ථානයේ ම යළි සේවය කරන බව පැවසේ.
ජාතික රෝහලේ හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා, ද සොයිසා කාන්තා රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා, හෝමාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා, තවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ව්‍යාධවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම වෛද්‍යවරුන් අතර වෙති.
මෙසේ යළි සේවයට පැමිණ ඇති වෛද්‍යවරුන් හත්දෙනා මේ වන විට මාස තුනක් සේවය කර ඇතත් ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවීමට පොරොන්දු වූ වැටුප් හෝ දීමනා කිසිවක් මේ වනතුරුත් ගෙවීමට නොහැකි වී ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වසරේ විශ්‍රාම ගත් විශේෂඥ වෛද්‍යවරුන් අතරින් යළි සේවයට වාර්තා කළ මෙම හත්දෙනා හැරුණු විට අනෙක් 43 දෙනා අතරින් පිරිසක් මේ වන විට විදේශගත වී හෝ වෙනත් පෞද්ගලික අංශයේ රෝහල්වල සේවයට එක්ව ඇති බව ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙයි.