ආයෝජනවලට විරුද්ධ වන්නේ රටේ සංවර්ධනය ආපසු හරවන්නයි…!

October 11, 2021 at 8:49 am | by emanisalk

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම්, එය රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට කරන උත්සාහයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව කාර්යාලයේ දී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊ‍යේ (09) හමු වූ අවස්ථාවේදීය.

“ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා පක්ෂ බේදයකින් තොරව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. පාට කන්නාඩිවලින් බලලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නායකයින් රටට හිතකර යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතැම් පාර්ශ්වයන් විරුද්ධ වුණා. අදටත් විරුද්ධ වෙනවා. රටට හිතකර යෝජනාවක් නම් එය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්න ඕනේ.

අපේ රටේ පවතින සම්පත් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි නම් අපි මොකද කරන්නේ. ඒ සඳහා අපිට තාක්ෂණය නැතිනම්, මුදල් නැතිනම් අපි විදෙස් ආයෝජකයෙක් ගෙන්නගෙන රටේ නීතියට අනුව වැඩ කරනව නම් ඇති වරද කුමක්ද? ලෝකය ම පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවෙන අවස්ථාවක, අපේ ඛනිජ සම්පත අපිට තව අවුරුදු 20 ක් ඇතුළත ගන්න බැරිවුණොත් ඒ සම්පතේ වටිනාකමක් තියෙයිද?

යහපාලනයට ඔවුන්ගේ අවුරුදු හතර හමාර තුළ කිසිදු ආයෝජකයෙක් ගෙන්න ගන්න බැරිවුනා. අපි ආණ්ඩුවක් විදියට රටට හිතකර තීන්දු තීරණ සෘජුව ගන්නවා.

අපේ රටේ ආයෝජකයෝ විදෙස් රටවල ගිහින් ආයෝජනය කරනවා. අපේ අය විදෙස් රටවල ගිහින් රැකියා කරනවා. හැබැයි විදෙස් රටවල අයට මෙහෙ ආයෝජනය කරන්නත් බැහැ, රැකියා කරන්නත් බැහැ. විරුද්ධ වෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබනවා. ඒවා නඩත්තු කරන්න මිලියන 22 ක් ජනතාව බදු ගෙවනවා. මේ වැය වෙන්නේ ජනතාවගේ සල්ලි. අපි රජයක් විදියට උත්සාහ කරන්නේ ජනතාවගේ මුදල් නාස්තිය අවම කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න.

ලෝකයේ රට රටවල් එකතුවෙලා ද්වි පාර්ශවික හා බහු පාර්ශවික වශයෙන් දියුණු වෙන්න උත්සහ කරනවා. නමුත් අපේ රට ඉන්දියාව, ඇමරිකාව, චීනය හා ජපානය වැනි රටවල් සමග ආයෝජනය කරන්න හැදුවම විරුද්ධ වෙනවා. හැබැයි මේ විරුද්ධ වෙන කට්ටිය ඒ රටවල නායකයින් හම්බවෙලා, ඒ පාලන කාලය තුළ ආයෝජනය කරන්න එන්න කියනවා. එයාලට බලය නැති වුණාම ආයෝජනය කරන්න විදෙස් රටක් එනව නම් ඒකට විරුද්ධ වෙනවා. මොකක්ද මේ විපක්ෂයේ දෙබඩි පිළිවෙත.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස