මෙරට පැවති දරුණු ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දුන් “ජාතික ඉන්ධන අවසර පත්‍රය” (National Fuel Pass) හෙවත් QR පද්ධතිය නිර්මාණාත්මය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ තමන්ට නොවන බව හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
QR පද්ධතිය නිර්මාණය කිරීම සඳහා රජයේ මුදල් වැය නොවූ බවත් එය නිර්මාණය කිරීමේ ගෞරවය ජයන්ත ද සිල්වා ප්‍රමුඛ ICTA ආයතන කණ්ඩායමටද සුපුන් ගුණතිලක ප්‍රමුඛ ඩයලොග් ආයතන කණ්ඩායමටද ශෙවාන් ගුණතිලක ප්‍රමුඛ මිලේනියම් IT කණ්ඩායමටද හිමි විය යුතු බවයි, කාංචන විජේසේකර සිය x ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. එම පිරිස සති දෙකක් ඇතුළත අදාළ පද්ධතිය නිර්මාණය කර මාසයක් ඇතුළත ක්‍රියාත්මක කළ බවද ඔහු පෙන්වාදෙයි.
ඉන්ධන බෙදා හැරීම සඳහා පැරණි QR පද්ධතිය නැවත භාවිතයට ගැනීම සහ එය තවමත් නිසි පරිදි යාවත්කාලීන කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වීම නිසා සමාජ මාධ්‍යවල එවක බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශංසා ලැබෙමින් ඇත. ඊට ප්‍රතිචාරයක් ලෙස සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ එහි සැබෑ ගෞරවය පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පෙර කී ප්‍රවීණයන් පිරිසට හිමිවිය යුතු බවයි.