ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඉන්දියාවට එල්-නිනෝ නිසායි… බඩු මිල වැඩි වුණත් දිගටම සපයනවා..! – ඇමති වසන්ත සමරසිංහ…

November 23, 2026 at 5:15 pm | by emanisa.lk

මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ් කිහිපයක මිල ගණන් ඉහළ යාම කෙරෙහි ඉන්දියාවට බලපා ඇති ‘එල්-නිනෝ’කාලගුණික විපර්යාසයේ සෘජු බලපෑම හේතු වී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

පිටකොටුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද වියළි මිරිස් තොගවල ප්‍රමිතියට වඩා ඉහළ තෙතමනයක් පැවතීම හේතුවෙන් අදාළ බහාලුම් වරාය තුළ රඳවා ගැනීමට සිදුව ඇති බවද සඳහන් කරයි.

ඉන්දියාවේ පවතින කාලගුණික විපර්යාස හමුවේ ඉදිරි උත්සව සමය ඉලක්ක කර ආනයනය කරනු ලබන ඇතැම් භාණ්ඩවල මිල ගණන් යම් මට්ටමකින් ඉහළ යාමේ අවදානමක් පැවතිය ද, පාරිභෝගික ජනතාවට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයුම් ලබාදීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින මෙම තාවකාලික තත්ත්වය වාසියක් කරගනිමින් කෘත්‍රිම හිඟයක් මවාපා අධික ලාභ ලැබීමේ අරමුණින් භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව වෙළෙඳ අමාත්‍යාංශය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස