ගම්පහ මහේස්ත්‍රාත් මාරු කළේ පොලිස්පතිට විරුද්ධව නියෝගයක් දුන් නිසායි.. මෙහෙම ගියොත් රටේ නීතිය බල්ලට යනවා…!

November 7, 2026 at 2:00 pm | by emanisa.lk

ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නීත්‍යානුකූල හා සාධාරණ තීන්දුවක් හේතුවෙන් ඔහු හදිසියේ ස්ථාන මාරු කිරීමට කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනා කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, සමස්ත රටටම බලපාන ගැසට් පත්‍රයක් සම්බන්ධයෙන් සහ පොලිස්පතිවරයාට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීම ඇතුළු ඍජු තීන්දු තීරණ ගැනීම නිසා මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි.

රටේ නීතිය හා යුක්තිය පසිඳලීමේ ස්වාධීනත්වයට මෙවැනි ක්‍රියාමාර්ග මගින් දැඩි බලපෑම් එල්ල වන බවත්, එමගින් රටේ නීතිය හෑල්ලුවට ලක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

“පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දුවක් ගත්තා කියලා ඒ මහේස්ත්‍රාත්වරයා මාරු කරන්නේ කොහොමද? මෙහෙම නඩුකාරවරුන් මාරු කරන්න ගියොත් මේ රටේ නීතිය බල්ලට යනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින නීතිඥවරුන්ට මෙන්ම අධිකරණ අමාත්‍යවරයාටද වගකීමක් පැවරෙන බව පැවසූ ඔහු, අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් සොයා බලා නිසි පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව අවධාරණය කළේය.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත්, මෙවැනි තීරණ ගැනීමේදී සියලු කරුණු සලකා බලා කටයුතු කරන ලෙසත් චාමර සම්පත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස