කලින් විවේචනය කරලත් IMF ගියේ අපට විකල්පයක් නොතිබුණු නිසායි..!

October 27, 2026 at 1:03 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර සිය පක්ෂය විවේචනාත්මක ස්ථාවරයක සිටියද, ආණ්ඩුව භාරගැනීමෙන් පසු එම වැඩසටහන සමඟ ඉදිරියට යාමට සිදුවූයේ රට හමුවේ වෙනත් විකල්පයක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

CNN ජාත්‍යන්තර පුවත් සේවයේ ‘Quest Means Business’ වැඩසටහන සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රිචඩ් ක්වෙස්ට්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මීට පෙර IMF වැඩසටහන් සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ යහපත් අත්දැකීම් නොතිබීම හේතුවෙන් තම පක්ෂය ඊට විරෝධී ස්ථාවරයක සිටි බව අගමැතිනිය පැවසුවාය. කෙසේ වෙතත්, නව රජය බලයට පත්වන විටත් අදාළ ගිවිසුම අත්සන් කර තිබූ බව ඇය පෙන්වා දුන්නාය.

ආණ්ඩුව භාරගැනීමෙන් පසු IMF නිලධාරීන් සමඟ සාකච්ඡා කර සිය ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු බවත්, යහපාලනය, දූෂණය පිටුදැකීම සහ මූල්‍ය විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වූ බැවින් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මැතිවරණයෙන් පසු රටේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සහ නව පාලනය අසාර්ථක නොවන බව ඔප්පු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණු වූ බව ද ඇය පැවසුවාය.

මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ යුද්ධවලින් කිසිදු පාර්ශ්වයකට යහපතක් සිදු නොවන බවයි. කලාපීය සාමය ආරක්ෂා කරමින් යුද ගැටුම් ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට අහිතකර බලපෑමක් ඇති කරන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වතාවක් සංශෝධනය කර ඇති අතර, එහි සැබෑ දෝෂ පවතින බවයි.

යුද්ධය අවසන් වී තිබුණ ද ගැටුම්වලට මුල් වූ හේතු විසඳීම, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම මෙන්ම තිරසර හා සියලු දෙනා ඇතුළත් කරගත් සංවර්ධනයක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පවතින බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස