රූපවාහිනි නාලිකා දෙකක් ආණ්ඩුව පෙරළන්න හදනවා… එක නාලිකා සහෝදරයෙක් වෙලේ සුදාගෙන් සල්ලින් අරන්…! – ජනපති…..

October 18, 2026 at 3:30 pm | by emanisa.lk

ආණ්ඩුව විසින් දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දියත් කර ඇති දැඩි වැඩපිළිවෙළට එරෙහිව මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා දෙකක් එක්ව කෘත්‍රිම නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

බදුල්ලේ පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද (18) අමතමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘වෙලේ සුදා’ නමැත්තාගෙන් එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුගේ සහෝදරයෙකු මුදල් ලබාගෙන ඇති බවට පසුගිය ආණ්ඩු සමයේ කරුණු හෙළි වූ බවද ජනාධිපතිවරයා පවසයි. එම චෝදනාව පසුගිය රජයක් පැවති සමයේ එල්ල වූවක් මිස වත්මන් පාලනය විසින් අලුතින් ගෙතූ එකක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සාපරාධී ජාලයන් අතීතයේ සිටම දේශපාලනඥයන්, නීතිවිරෝධී ව්‍යාපාරිකයන්, පාතාල නායකයන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් කොටස්වලින් සැදුම්ලත් එකක් බව පෙන්වා දුන් හෙතෙම, එම අශුද්ධ සන්ධානය හරහා මුදල්, වාහන, නිවාස ඇතුළු විවිධ වරදාන ලබාගත් පාර්ශ්වයන් මේ වන විට ආණ්ඩුවේ මර්දන ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට මානබලන බවද පැවසීය.

“නීතිය පිළිබඳ අවසන් වගකිවයුත්තා කවුද? පාර්ලිමේන්තුව පනත් සම්මත කර දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒ පනත්වලට අනුව නඩු පවරනවා. ඒ නඩුවලට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා අල්ලස් කොමිසම මඟින් සිදු කරනවා. අවසානයේදී එම කරුණු නීතිය හමුවේ විභාග කරන්නේ අධිකරණයයි. එහි අවසන් තීන්දුව ලබාදෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු එය අස්කර ගන්නැයි කෑගැසීමට නොහැකියි. එවැනි තත්ත්වයන් පවතින්නේ නීතියක් නොමැති රටවල පමණයි. අධිකරණ පද්ධතිය ලබාදෙන තීන්දු මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අප පිළිගන්නවා. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිගමනයන්ට අප යටත් වෙනවා. එතැනින් එහාට ගිය තීන්දු කිසිවෙකුත් අපෙන් බලාපොරොත්තු විය යුතු නැහැ.

විධිමත් ආකාරයෙන් පරීක්ෂණ සිදු කළහොත් එළියේ කවුරුත් ඉතිරි වන්නේ නැහැ. අපි වංචාවට හා දූෂණයට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා, වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනවා. මේ කාර්යභාරය අපි ඉතාම නිවැරදිව සිදුකරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *