පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීම සහ උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීම ඇතැම් දේශපාලන කණ්ඩායම් තම දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු සංවිධානය වන ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව උන්වහන්සේ බන්ධනාගාරගතව සිටින බවත්, අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් එකඟ නොවන්නේ නම් ඒ සඳහා ඉහළ අධිකරණවලට අභියාචනා කිරීමේ හැකියාව පවතින බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
බන්ධනාගාරගත වන සියලු දෙනා බන්ධනාගාර නීති හා රෙගුලාසිවලට යටත් විය යුතු බව සඳහන් කළ උන්වහන්සේ, භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත වූ විට අදාළ ඇඳුම් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාපටිපාටිය ද සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කළහ.
එමෙන්ම, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සෘජුව සාකච්ඡා නොකර, සිවුර ඉවත් කිරීමේ සිදුවීම පමණක් දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගැනීම තුළ ඇතැම් පාර්ශ්වවල දේශපාලන අරමුණු ක්‍රියාත්මක වන බවට ද උදිත හිමි චෝදනා කරයි.
තායිලන්තයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්බන්ධයෙන් මතුවූ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය ඇතුළු කරුණු පිළිබඳව ද මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව සිහිපත් කළ වකමුල්ලේ උදිත හිමි, වත්මන් ගැටලුව සම්බන්ධයෙන් ද සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමේ වැදගත්කම පෙන්වා දුන්හ.
මහානායක හිමිවරුන් ජනාධිපතිතුමා හමුවී මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බව උන්වහන්සේ පැවසූහ. එහිදී “මගේ වචන තමයි චක්‍රලේඛන, ඒකයි නීතිය” යැයි පැවසූ අතීත ජනාධිපතිවරුන් මෙන් නොව, “නීතිය මගේ වචන කරගන්න මම කැමති නැහැ, නීතිය නීතිය හැටියට තිබිය යුතුයි” යනුවෙන් වර්තමාන ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අතිශයින්ම ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් ලෙසද උන්වහන්සේ අගය කළහ.
අවසානයේදී, භික්ෂුත්වය යනු ඕනෑම අවස්ථාවක තර්ජනය කිරීම, අසභ්‍ය වචන භාවිත කිරීම හෝ අසීමිත ලෙස හැසිරීමේ අයිතියක් නොවන බව පෙන්වා දුන් වකමුල්ලේ උදිත හිමියෝ, භික්ෂු බලය යනු එවැනි හැසිරීම් නොවන බව ද අවධාරණය කළහ.