අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම කිසි දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කර නොමැති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
“මහින්ද කහඳගම කියන පුද්ගලයා කවදාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයි. හැබැයි අපි පහුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදීත් ඊට කලින් ඡන්ද විමසීමේදීත් අපි වමේ දේශපාලන පක්ෂ සමග සන්ධානයකට එකතු වුණා.
ඒ අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මැතිතුමාගේ නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් හැටියට තමයි ඔහු ඉදිරිපත් වුණේ. ඒ නව සමසමාජ පක්ෂයේ ඉල්ලීමක් මත තමයි ඒ නාම යෝජනා ලබාදීම සිදුකළේ.
ඒ අනුව මහින්ද කහඳගම කියන පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් කියන කාරණය අපි දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඔහු ගැන අහන්න ඕනෙ වාසුදේව නානායක්කාර මහත්තයාගෙන්, නැතිව අපෙන් නෙවෙයි.”
සාගර කාරියවසම් මේ බව පැවසුවේ ඊයේ (06) නාමල් රාජපක්ෂගේ නඩුව විභාග වන අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.