ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී ගැනීම සඳහා සිදුකර ඇති ටෙන්ඩර් ක්‍රියාවලිය ඉතාම කඩිමුඩියේ සහ නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ පවසයි.
“මේ ටෙන්ඩරය කැඳවන ToR report එක හදලා තියෙන්නෙ AI මෙවලමක් භාවිතයෙන්. Chat GPT දාලා තමයි මේක හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවට බොඩි කැම් ටිකක් ඕනෙ, ඒ බොඩි කැම් කොහොම වෙන්නද ඕනෙ කියලා Chat GPT එකෙන් අහලා තියෙනවා ආණ්ඩුවේ පාලකයෝ, නැත්නම් මේකට සම්බන්ධ පාර්ශ්වය. ඊටපස්සෙ Chat GPT එකෙන් දෙනවා ඕගොල්ලන්ට ගැලපෙන බොඩි කැම් එක මෙහෙම එකක් කියලා.
ඒ ආවාට පස්සේ ආපු තොරතුරු ටික එහෙම්ම කොපි පේස්ට් කරලා තියෙනවා මේ ඩොකියුමන්ට් එකට. තිබුණු තදියමට මේකෙ තියෙන Chat GPT එකෙන් එන ඉරිකෑලි ටිකවත් මකාගන්න ආණ්ඩුවට ඕනෙකමක් තිබිලා නෑ. මේ ටෙන්ඩර් එක කැඳවපු කෙනාට Chat GPT එකෙන් දුන්නු වචන ටික එහෙම්ම කොපි පේස්ට් දාද්දි ඒක එහෙම නෙවෙයි කියලාවත් පේන්න අඩුම වශයෙන් ඉරිකෑලි ටිකවත් මකාගන්න උනන්දුවක් තිබිලා නෑ.
දැන් මේකට ආයතන 24ක් ඉල්ලුම් කරලා තියෙනවා. අවම ලංසුව ඉදිරිපත් කරපු ආයතනය මේ කැමරා 500 ඇතුළු උපකරණවලට ලංසුව ඉදිරිපත් කරලා තියෙනවා කෝටි 5ක්. වැඩිම ලංසුව ඉදිරිපත් කරපු සමාගම කියනවා මේක කෝටි 36කට දෙන්නම් කියලා. එතකොට මේ දෙකේ පරතරය හත් ගුණයකින් වැඩියි.
ඒ කියන්නෙ අවශ්‍ය තාක්ෂණික උපකරණය ලබාගන්නවාට වඩා මොකක්හරි එකක් ගෙනල්ලා පොලිස් නිලධාරීන්ගේ ඇඟේ එල්ලලා මෙන්න අපි වැඩක් කළා කියලා පෙන්නන්න යන්නෙ රජයෙන්. ඒ නිසා මේ ගෙන්වන තාක්ෂණික උපකරණයේ අවශ්‍ය පිරිවිතර හරියට නෑ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට වෙලා නෑ, ඒ නිසා තමයි මේ සමාගම් 24ක පරතරය මහා පරිමාණයෙන් වැඩිවෙලා දැන් මේ ටෙන්ඩරයේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා”
වසන්ත මුදලිගේ මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.