ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලබන 12 වනදා අනුරාධපුර පැවැත්වීමට නියමිත රැලිය සඳහා නගරයේ පිහිටි විශාල ක්රීඩා පිටි දෙකම ලබාදීම අනුරාධපුර නගර සභාව ප්රතික්ෂේප කර තිබේ.
එම දිනවල වෙනත් පාර්ශ්ව විසින් වලිසිංහ හරිස්චන්ද්ර ක්රීඩාංගණය සහ සල්ගාදු (නගර සභා) ක්රීඩාංගණය වෙන්කරගෙන ඇති නිසා ඒවා එදිනට ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇත. එසේම මේ සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට හැකි බැවින් ඒ සඳහා සලකා බලන ලෙසද දැනුම් දී ඇත.
කෙසේවෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් චෝදනා කරන්නේ සල්ගාදු පිටිය ලබා ගැනීම සඳහා තමන් කලින්ම ඉල්ලුම් කර තිබියදී, පසුව අයදුම් කළ වෙනත් පාර්ශ්වයකට එම පිටිය ලබා දීමට නගර සභාව කටයුතු කර ඇති බවටය. එසේම වලිසිංහ හරිස්චන්ද්ර ක්රීඩාංගණයද තෙවන පාර්ශ්වයක් විසින් වෙන් කරගෙන ඇති බව පවසමින් තමන්ට ලබා දීම ප්රතික්ෂේප කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
මෙය ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත කළ දෙයක් බවටද පොහොට්ටු නියෝජිතයෝ චෝදනා කරති.