තමන් පූර්ව අනතුරු ඇඟවීම් කළ බලශක්ති අර්බුදය මතුව ඇති බවත් රටට ඇත්ත ප්‍රකාශ කොට හැකි ඉක්මනින් ඒ සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
හිටපු ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු තොග අවසන් අදියරට ළඟා වීම හේතුවෙන් ඒකක දෙකක විදුලි උත්පාදන ධාරිතාව ඊයේ (30) දින සිට මෙගාවොට් 270 සිට 130 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ. ගල් අඟුරු බලාගාරයේ අවසන තොග පවා මේ වන විට භාවිතයට ගනිමින් සිටින අතර, බලාගාරය ක්‍රියාත්මක කළ යුතු ක්‍රමය මෙය නොවේ.
(නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සම්පුර්ණ ධාරිතාවය 900 MW වන අතර, ඊයේ දිනයේ Peak Demand අවස්ථාවේ උත්පාදනය කර ඇත්තේ 282 MW පමණි.)
විදුලි බල මණ්ඩලය නිකුත් කරන 2026.08.30 විදුලි පද්ධති වාර්තාවේ පැහැදිළිව සඳහන් කර ඇත්තේ ගල් අඟුරු තොග හිඟ වීම හේතුවෙන් විදුලි උත්පාදනය සිමා කර ඇති බවයි.
ගල් අඟුරු බලාගාරයෙන් අහිමි වන විදුලි ධාරිතාවය ඩිසල් බලාගාරවලින් උත්පාදනය කරන අතර, දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14 ක් පමණ අවශ්‍ය වේ. ඩිසල් බලාගාරයක එක් විදුලි ඒකකයක් සඳහා වන පිරිවැය රු.120.00 ක් පමණ වන අතර, විදුලි ඒකකයක විකුණුම් මිල රු.37.00 කි.
කිරිපිටි, පාන්පිටිවලින් රටේ ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් (ජාතික ධනය) ගල් අඟුරු වංචා හමුවේ මෙසේ විනාශ කර දැමීම කෙතරම් යුක්ති සහගතද..?