සත්ව සුබසාධන පනතින් පෙරහැරට අලින්ට තහංචි වැටෙයිද… නිහඬව නොසිට සත්‍ය හෙළි කරන්න…! – මල්වතු නාහිමි රජයට දැනුම්දෙයි…

August 7, 2026 at 4:13 pm | by emanisa.lk

සත්ව සුබසාධන පනත් කෙටුම්පත මගින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇති වන්නේද යන්න පිළිබඳව රටට සත්‍ය ප්‍රකාශ කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

පෙරහර සඳහා අලි ඇතුන් භාවිත කිරීම පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති බව පවසන උන්වහන්සේ ඒ පිළිබඳව සත්‍ය කුමක්ද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක් බවද පැවසූහ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු ආශිර්වාද ලබා ගැනීම සඳහා මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

යෝජිත පනත ක්‍රියාත්මක වීමෙන් පසු අලි ඇතුන් ප්‍රවාහනයේ දී ගැටලු මතුවන බවත් ඔවුන් පෙරහරට යොදා ගැනීමට නොහැකි වනු ඇති බවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන බව පැවසූ නාහිමියෝ මේ සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න කළහ.

රට තුළ මතුව තිබෙන මෙම ප්‍රශ්න හමුවේ තව දුරටත් නිහඬව බලා නොසිට එහි සත්‍ය තත්ත්වය හෙළි කරමින් ජනතාව දැනුම්වත් කිරීමට රජය කටයුතු කළ යුතුව ඇති බව උන්වහන්සේ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *