දුම්රිය එන්ජිමක් මහා මාර්ගය ඔස්සේ පේරාදෙණිය වෙත ගෙන ගිය බවත් එය ඉතා දුෂ්කර ක්‍රියාවක් වූ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.
“නායයෑම් සහ දිට්වා ආපදාවන් නිසා අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක තීරණාත්මක පියවරක් දැන් ක්‍රියාත්මකයි. කඩුගන්නාව සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය කිරීමේ හැකියාව පැවතුණත්, එතැන් සිට බදුල්ල දක්වා මාර්ගය යළි සකසා ගැනීමට නම් සේවා දුම්රියක (Service Train) අවශ්‍යතාව තදින්ම පවතිනවා.
නමුත් ගැටලුව වුණේ ඒ සඳහා දුම්රිය එන්ජිමක් එතැනට රැගෙන යන්නේ කෙසේද යන්නයි.
දුම්රිය මාර්ගයෙන් වැඩේ කරගන්න විදියක් නැතිම තැන, අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වීරයන් අභියෝගාත්මක තීරණයක් ගත්තා. ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් M5c 781 දරන දුම්රිය එන්ජිම අද මහා මාර්ගය ඔස්සේ පේරාදෙණිය වෙත ප්‍රවාහනය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙය සාමාන්‍ය ගමනක් නොවේ, මේ දුම්රිය එන්ජිමේ බර ටොන් 65ක් 70ක් අතර වෙනවා. කොහෙන් රැගෙන ගියත් කඳු පල්ලම්, වංගු සහිත දුෂ්කර මහා මාර්ග පසු කරමින් මේ සා විශාල බරක් ප්‍රවාහනය කිරීම සැබවින්ම අතිශය අවදානම් සහගත, බාධක පිරි මෙහෙයුමක්.”