අපි කවදාවත් මඩ ගහලා චරිත ඝාතනය කළේ නෑ… මම ජීවිතේට කසිප්පු බීඩි කටේ තියලවත් නෑ…! – නි. ඇමති ටී.බී. සරත්…

June 29, 2026 at 11:31 am | by emanisa.lk

තමන් ඕනෑ තරම් දේශපාලන විවේචන, උද්ඝෝෂණ කර ඇතත් කිසිදු දිනක පුද්ගලයකුගේ කීර්ති නාමය කෙළසන විවේචන සිදුකර නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“වර්තමාන ආණ්ඩු පක්ෂයට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නෙ කිසිදු හේතුවකට තමන්ගේ පාර්ලිමේන්තු ආසනෙන් බැහැලා අර කලහකාරී ලෙස කටයුතු කරන්න එපා කියලා. එදා සෙංකෝලය ගලවාගෙන දුවන්න ගියත් අපි 159 දෙනාගෙන් එක්කෙනෙක්වත් බැස්සෙ නෑ. මේක තමා ආදර්ශය දෙන්න ඕනෙ ඉහළින්.

ශිෂ්ට සම්පන්න සමාජය බිඳවැටීමේ ප්‍රතිඵල තමයි කවුරුත් දකිමින් ඉන්නේ. ඉතින් අපි කාටත් ගහනවා, ඒක ස්වභාවය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එතුමාගෙ කාලෙ බොහොම දරුණු ලෙස ගැහුවා. දේශපාලන විවේචන සහ පුද්ගලානුබද්ධ විවේචන කියලා දෙකක් තියෙනවා. දේශපාලන විවේචන කරන්න පුළුවන්, ඒක කවුරුත් කරනවා.

පුද්ගලානුබද්ධ විවේචන නිසා තමයි සමාජයක් විනාශය වෙන්නෙ. ඒක මේ රටේ පහත් දේශපාලන සංස්කෘතිය නිසායි වෙන්නෙ. මගේ ජීවිතේ, මම ජීවත් වෙන සමාජය මෙතන ඉන්න ගොඩක් අය දන්නවා. දැන් මට බීඩි බොනවා කියලා ගහන්නෙ, මට ඊයෙ සජබ මහත්තුරු මැදිරිගිරියෙ කසිප්පුකාරයා කිව්වෙ. මගෙ ජීවිතේට කොහෙවත් මම කසිප්පු බීලත් නෑ, අම්මා වැදුවාට පස්සෙ මම තව වෙනකල් සිගරට් එකක් බීලාත් නෑ. කිසිදෙයක් මම එහෙම කරලා නෑ,

නමුත් ගහනවා. ඒක තමයි අශිෂ්ඨ සම්පන්න සමාජයක ස්වභාවය. ඒක කවුරු හරි මිනිස්සු කළාට ප්‍රශ්නයක් නෑ, ඒක ඔවුන්ගේ දැනුමේ ස්වභාවය. නමුත් ඒක දේශපාලන ව්‍යාපාරයක් විසින් කරනවා නම් ඒක පහත් වැඩක්. අපි ඕනෙ තරම් දේශපාලන විවේචන කරලා තියෙනවා, හැබැයි පුද්ගලානුබද්ධව පුද්ගලයෙකුගේ කීර්ති නාමය කෙළසන විවේචන කරලා නෑ.”

නි. ඇමති ටී. බී. සරත් මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ ජයමග විද්‍යායතන පිරිවෙන් ධර්ම ශාලාව සඟ සතු කොට පුජා කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *