අධිකරණයට මුවාවී පුරවැසි අයිතීන්ට අත නොතබනු.. CIDයට එරෙහිව සිවිල් සංවිධාන පෙරට…!

June 16, 2026 at 10:28 am | by emanisa.lk

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර යන පුරවැසි භාෂකයන්ට එරෙහිව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටියි.

2024 අංක 8 දරන අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව අප සාමූහිකය අවධාරනය කර සිටී.

මහජන මතය මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම විශේෂිත පනත සක්‍රීයව භාවිත කරමින්, සාපරාධී විමර්ශනයක් ආරම්භ කිරීම, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කළ, නීතිය ඉතා පැහැදිලිව විකෘති කිරීමක් සහ අවභාවිත කිරීමකි.

මෙහිදී සිදුවෙමින් ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද නීතිමය යාන්ත්‍රණයක්, පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස නීතිවිරෝධී ලෙස පරිවර්තනය කරගැනීමකි.

විශේෂයෙන්ම, මෑතකාලීනව දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වන ස්වරූපයක් පෙන්නුම් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය විවේචනය කරන සහ ඒ පිළිබඳ තමන්ගේ අදහස් දක්වන සිවිල් පුරවැසියන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් “අධිකරණයට අපහාස කිරීම” වැනි චෝදනා අවභාවිත කරමින් සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවට අප සාමූහිකය අවධාරනණය කොට සිටී.

එවැනි චෝදනා නඟමින් නිදහස් මතධාරීන් බියවැද්දීමට පොලීසිය දරන උත්සාහය කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන, පොලිස් සංකල්පයට සහ ඒ මත ගොඩනැගුන පොලිස් නිල ඇඳුමට නොතරම් හැසිරීමකි.

CID ය විසින් මෙහිදී කරමින් සිටින්නේ ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියෙකු වන CID යෙහි ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට පවතින නීතියක් පලිහක් කර ගැනීමකි. මෙවැනි ක්‍රියා සුදුසු වන්නේ පොලිස් රාජ්‍යයකට මිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් තුල නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස CID යේ මෙම ක්‍රියාව මගින් බරපතළ ලෙස සීමා කරන්නට හේතුවන බව අප සාමූහිකයේ මතය වන්නේය.

එම නිසා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුරවැසියාගේ අදහස් දැක්වීම් දඩමීමා කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති අතර, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස තහවුරු කර ඇත.

රජයේ ආයතන හෝ නීතිය බලාත්මක කරන ආයතන දේශපාලනීකරණය වන විට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ තම මතය සමාජගත කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව, පාලකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් පුරවැසි අයිතීන් පාගා දමන මෙවලමක් බවට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් සනිටුහන් කරන්නකි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු අතර, දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම, සිවිල් සමාජයක් ලෙස අප කිසිසේත් අනුමත නොකරමු.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත්, දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි අත්තනෝමතික පොලිස් මර්දනයන් නතර කරන ලෙසත් දිනන දකුණ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලුම බලවේගයන් මෙම මර්දනයට එරෙහිව එක පෙළට සිටගත යුතු මොහොත එළඹ ඇත.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස