ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම නිසා නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් මාස ගණනාවක් තිස්සේ නොපිරවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දේශපාලන හා නීති ක්ෂේත්‍රයෙන් දැඩි චෝදනා එල්ල වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ පැහැර හැර ඇති බවට නිදහස් නීතිඥ සංගමය ප්‍රසිද්ධියේ චෝදනා කරයි. සමහර විනිසුරු පුරප්පාඩු මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරවා නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධානවලට පැමිණිලි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ එම විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවත් ඒවා පුරවන කාලය සහ පුරවන ක්‍රමවේදය පමණක් කිව නොහැකි බවත්ය.