මත්ස්‍යයින් බහුලව සිටින ස්ථාන පිළිබඳව ධීවරයින්ට දැනුම් දීම සඳහා වන ජංගම දුරකථන යෙදවුම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සිටම භාවිතයේ තිබූ බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
ප්‍රශ්නය – ඇමතිතුමා මේ හැමෝම අහනව දැන් අර එස්. එම්. එස් එක කෝ කියලා මාළු ඉන්න තැන් සම්බන්ධව?
“මාළු ගහන ප්‍රදේශ සම්බන්ධව නාරා ආයතනයයි ඩයලොග් ආයතනයයි එකතුවෙලා මේ ඇප් එක හදලා තියෙන්නෙ. අපේ ආණ්ඩුව එන්න කලින් ඉඳන්ම මේ ඇප් එක තිබුණා. අලුත් දෙයක් නෙවෙයි මේක. මේකට තොරතුරු අප්ඩේට් වෙනවා. අපේ ඉතින් තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. ඒවායින් සමහර ප්‍රතිශතයක් හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්.
මේ මැසෙජ් එක දීලා ටික වෙලාවක් යනකොට ධීවරයෙක් ඒ ස්ථානයට යනකොට රළේ පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. සී කරන්ට් එකේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. දේශගුණික කාලගුණික තත්වයන් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනස්වීම් වෙන්න පුළුවන්.
ඒ නිසා තාමත් මේ සඳහා දායකත්වය ගත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. අපි ඉදිරියට ඒ ඇප් එක පිළිබඳ ප්‍රමෝෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. නාරා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අපි ප්‍රමෝෂන් එකක් කරලා ධීවරයින් ගාවට ඒ ඇප් එක ගෙනියනවා.”
ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය විසින් මසුන් ගැවසෙන ස්ථාන පෙන්වන ඇප් එකක් ධීවර ජනතාවට හඳුන්වා දෙන බවට වූ පොරොන්දුව පිළිබඳ ඊයේ (03) මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේය.