ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.
නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇත.
රටේ ඉහළම උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා පිළිබඳව එම ලිපිය මඟින් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ දා සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, එය අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ප්‍රකාශ කරයි.
එවැනි වෙනසක් සිදු කිරීම අනවශ්‍ය මෙන්ම නුසුදුසු එකක් බවත්, එමඟින් අධිකරණය කෙරෙහි මහ ජනතාව තබා ඇති විශ්වාසය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය දක්වන කැපවීම පළුදු විය හැකි බවත් ඔවුහු තර්ක කරති.
විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ පරමාර්ථයෙන්ම පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීම පිටුපස ඇති චේතනාවන් පිළිබඳව මහ ජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවට නීතිඥ සංගමය අනතුරු අඟවයි. තවද, 2020 වසරේ සිදුකළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ අධිකරණ දෙකෙහිම විනිසුරුවරුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 11 සිට 17 දක්වාත් වැඩි කර ඇත.
මෙම සාමාජික සංඛ්‍යාව ඉහළ නැංවීම මඟින් අධිකරණවල ධාරිතාව ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වී ඇති බැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සේවා අවශ්‍යතාව මත පදනම් වූ කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයයි.
අධිකරණ විශ්‍රාම වයසෙහි සිදු කරන ඕනෑම වෙනස් කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බව නිරීක්ෂණය කරන නීතිඥ සංගමය, ව්‍යවස්ථාවට මෙලෙස තාවකාලික අවශ්‍යතා මත සංශෝධන සිදු නොකරන ලෙස අවධාරණය කරයි. ලංකා ඉතිහාසය දෙස බැලීමේදී නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පාවා දෙමින්, බලයට පත් වූ විවිධ රජයන් සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිතර නිතර සංශෝධනය කර ඇති බව ද එහි සඳහන් වේ.
වත්මන් වටපිටාවක සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණයට සෘජුවම බලපෑම් කිරීමට දරන උත්සාහයක් ලෙස අර්ථකථනය විය හැකි බව නීතිඥ සංගමය අවධාරණය කරයි. එවැනි පියවරක් මහජන විශ්වාසය පළුදු කරනවා පමණක් නොව, අදාළ විනිසුරුවරුන්ගේ ගරුත්වයට ද නිගරුවක් විය හැකි බව ඔවුහු පවසති.
මෙහි ඇති දිගුකාලීන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු අඟවමින් නීතිඥ සංගමය කියා සිටින්නේ, මෙම යෝජිත සංශෝධනය මඟින් භයානක පූර්වාදර්ශයක් සැපයෙනු ඇති බවයි. එමඟින් අනාගතයේ බලයට පත්වන රජයන්ට ද තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණයට බලපාන මෙවැනි ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදු කිරීමට මඟ පෑදෙනු ඇත.
“අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි මහ ජනතාව තබා ඇති විශ්වාසය අප ජනරජයේ නීතියේ ආධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍යම කුළුණු වේ,” යැයි නීතිඥ සංගමය ප්‍රකාශ කර සිටියි.
අධිකරණය ප්‍රායෝගිකව ස්වාධීන විය යුතුවා පමණක් නොව, එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, අපක්ෂපාතී සහ කිසිදු බාහිර බලපෑමකින් හෝ අකටයුත්තකින් තොර ආයතනයක් ලෙස මහ ජනතාවට දර්ශනය විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.
නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සතු වගකීම ඉටු කිරීමක් වශයෙන් මෙම කනස්සල්ල ප්‍රකාශ කිරීමට සිදු වූ බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, යෝජිත සංශෝධනයෙන් අධිකරණයේ හෝ මහජනතාවගේ කිසිදු යහපතක් සිදු නොවන බව නැවත වරක් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය සඳහා එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා අත්සන් තබා ඇත.