පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂ මාරුකළහොත් මන්ත්‍රී ධූරය අහෝසි කරන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමකින් අනතුරුව මෙම පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන ඊට විරෝධය පළ කරමින් මැති ඇමතිවරු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැලසුම් කිරීම මෙම පනත ගෙන ඒම කඩිනම් කිරීමට ආසන්නම හේතුව වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වෙමින් ඇති අර්බුද හා කථිකාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර නොපමාව අදාළ පනත ගෙන ඒමේ අවශ්‍යතාව එම මන්ත්‍රීවරු පිරිස දිගින් දිගටම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බවට ආණ්ඩුව අවස්ථා ගණනාවකදී රටට පොරොන්දු වී ඇති බවත් ඒ අනුව පනත කඩිනමින් ගෙන ඒමේ හැකියාව තිබෙන බවත් එම මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ
උද්ගතව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි සති කිහිපය ඇතුළත මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන ඇති බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.