රටේම වගාබිම් විනාශ කරන පිල්ලියක් රටින් ගෙනෙයි… භයානක සුදු මැස්සන් පිරි මල් කන්ටේනර් 12ක් රටට නිදහස් කරලා…!

May 22, 2026 at 10:27 am | by emanisa.lk

පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මල් කන්ටේනර් 18ක ‘සුදුමැස්සා’ (Whitefly) නමින් හඳුන්වන විනාශකාරී කෘමියා සිට ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී තිබියදී, ඉන් කන්ටේනර් 12ක්ම නිදහස් කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක බරපතළ චෝදනා කරයි.

පාර්ලිමේන්තුව අමතමින් (21) මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

රටේ සමස්ත කෘෂිකර්මාන්තයම දැඩි අනතුරක හෙළමින් සිදුකර ඇති මෙම ක්‍රියාව පිටුපස ඇති අදිසි හස්තය කුමක්දැයි වහාම සෙවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

අදාළ මල් කන්ටේනර් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී, පියවි ඇසට පැහැදිලිවම පෙනෙන කෘමීන් මෙන්ම පුස් (Fungus) වර්ගද පවතින බවට නිල වශයෙන් වාර්තා කර තිබූ බව ඩී.වී. චානක මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙම කන්ටේනර්වල ලංකාවේ වගාබිම් විනාශ කළ හැකි දරුණු කෘමියෙකු වන සුදු මැස්සා සිටින බව විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වී ඇති පසුබිමක කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කන්ටේනර් 6ක් පමණක් රඳවා ගෙන ඉතිරි 12 නිදහස් කර ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

මීට පෙරද මෙවැනි විදේශීය කෘමීන් සහ වෛරස් රට තුළට ඇතුළු වීම නිසා දේශීය ගොවීන්ගේ වගාවන් විශාල වශයෙන් විනාශ වූ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, මෙවැනි විනාශකාරී කෘමීන් සහිත කන්ටේනර් සිතාමතාම රට තුළට මුදා හැරීම ජාතික අපරාධයක් බවද කියා සිටියේය.

මෙම මල් කන්ටේනර් 12 නිදහස් කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය ගත් තීරණයට පදනම කුමක්ද යන්න සහ මේ පිළිබඳව රජය වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා රටට ඇත්ත හෙළි කළ යුතු බවද ඩී.වී. චානක වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *