ගල් අඟුරු නැව් දෙකක් ලංකා මුහුදේ… ගොඩබෑම ප්‍රමාදයෙන් දිනක පාඩුව ලක්ෂ 50යි… කෝටි 27ක ගල් අඟුරු මුහුදුබත් වීමේ අවදානමක….!

May 19, 2026 at 9:59 am | by emanisa.lk

නොරොච්චෝල ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති ගල්අඟුරු ප්‍රවාහන නෞකා දෙකක ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් විශාල අතිරේක ප්‍රමාද ගාස්තුවක් (Demurrage) ගෙවීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අනාවරණය කරයි.

මෙම ප්‍රමාදකාරී තත්ත්වය හේතුවෙන් රුපියල් කෝටි 27 ක් වටිනා වටිනා ගල්අඟුරු තොගයක් මුහුදට වැටී විනාශ වීමේ බරපතල අවදානමක් ද මතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ගල්අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන විවිධ දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුව ඇති රුපියල් කෝටි 10,000 ක දැවැන්ත පාඩුව ඇතුළු වංචා රැසකට අදාළ තොරතුරු සහ සාක්ෂි ලියකියවිලි රැසක් ද ඔහු විසින් කොමිසම වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

2026 වසරේ ගල් අඟුරු වංචාව අනාවරණය වූ විගස ඒ පිළිබඳව විමර්ශනය කිරීම වෙනුවට 2009 වසරේ සිට මේ දක්වා වූ දීර්ඝ කාලය තුළ ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවූ සියලුම දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ විමර්ශන කොමිසම පත් කර තිබේ.

මෙම මහා පරිමාණ ගනුදෙනුවලට අදාළ ඕනෑම විශ්වාසවන්ත තොරතුරක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මහජනතාවට සහ දේශපාලන පක්ෂවලට විවෘත කර ඇති අතර, කොමිෂන් සභාව වෙත තොරතුරු හා පැමිණිලි ඉදිරිපත් කළ යුතු අවසන් දිනය එළඹෙන මැයි මස 22 වැනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *