යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ ප්‍රධාන සැමරුම් උළෙල මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද ස්මාර්කය අබියස පැවති අතර තවත් උත්සව ගණනාවක් උතුරේ විවිධ ප්‍රදේශවලදී ඊයේ (18) පැවැත්විණි.
දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිමාවට පත් වී වසර 17 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උතුරේ දේශපාලන පක්ෂ, විශ්ව විද්‍යාල සිසුන්, බහුජන සංවිධාන, මියගිය අයගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්ව එම සමුරු උත්සව පවත්වා තිබේ.
ප්‍රධාන සමරු උත්සවය වෙනුවෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කොට තිබූ බව වාර්තාවේ.
ප්‍රධාන උත්සවයට අමතරව යාපනය විශ්වවිද්‍යලයේදී මහාශිෂ්‍ය සංගමය ඇතුලු සිසුන් විසින් විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද ස්මාර්කය අබියසදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
ඊට අමතරව වවුන්යාව, කිලිනොච්චිය නගරය, මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක යුද්දයෙන් මිය ගිය අයවෙනුවෙන් සැමරුම් උත්සව කිහිපයක් පවත්වා තිබේ. මේ අතර වැල්ලවත්ත වෙරළ තීරයේද රාජ්‍ය නොවන සංවිධාන එක්ව යුද සැමරුමක් පැවැත්විණි. ඒ සඳහා පොලිස් ආරක්ෂාවද සපයා තිබිණි.
මෙවර උතුරේ පැවැති සැමරුම් උත්සව කිසිවකටත් පොලිසියෙන් හෝ ආරක්ෂක අංශවලින් කිසිදු බාධාවක් එල්ල නොවූ බව වාර්තා වීම විශේෂත්වයක් වේ.