ප්‍රසිද්ධ රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතිඥ සම්පත් යාලේවත්ත මාර්ගයෙන් යොමු කරන ලද මෙම ලිපියට අනුව, පසුගිය මාර්තු 22 වනදා හෝ ඊට ආසන්න දිනක පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.
වසර 30කට අධික විධායක අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි සිය වෘත්තීය සහ දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බව එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම, ගල් අඟුරු ආනයනයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ සලසමින් ඔහු මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවද එහි පෙන්වා දී ඇත.
අදාළ චෝදනා පදනම් විරහිත බවත්, එමගින් කුමාර ජයකොඩිගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවත් නීතිඥවරයා සඳහන් කරයි.
ඒ අනුව, සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර, දින 14ක් ඇතුළත එම ගෙවීම් සිදු කරන ලෙස ප්‍රසාද් සිරිවර්ධන මහතාට දන්වා තිබේ. නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තුද සහිතව එය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය ඇත.