මින් ඉදිරියට ශ්රී ලංකාවේ වෙනත් ආණ්ඩු බිහි නොවන බවත් දිගටම පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්රකාශ කරයි.
“විපක්ෂයේ අනාථ වෙච්ච සුන්බුන් අතරේ ඉන්න කිහිප දෙනෙක් එකතුවෙලා දහයක් පහළවක් හන්දියකට ඇවිල්ලා කෑගහනවා, ගෙයක් ගාවට ඇවිල්ලා කෑගහනවා, ආණ්ඩුව පෙරළන්න කතා කරනවා. අරගලයට කතා කරනවා. අපි ඒගොල්ලන්ට කියනවා අරගල ඉගෙනගන්න ඕනෙ නම් ඉගෙන ගන්න පුළුවන් අපෙන් තමයි. අපි තමයි අරගල කරන්න ඉගැන්නුවේ මේ රටට.
ඒ නිසා ඔය දහයක් පහළවක් ඇවිල්ලා ආණ්ඩුව පෙරළන්න හදන ඒ මන්ද මානසිකයින්ට, ලෙඩ්ඩුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරළන්න බෑ. මේකට අත තියන්න බෑ. මේක රකින්න ඉන්න ජන පවුර තමයි මේ කළුතරටත් රට පුරාම දිස්ත්රික්ක 21කත් ඇවිල්ලා ඉන්නෙ.
අනාගතය පුරාම මේ රට හදනකල් මේක හදන්න ඉන්නෙ මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. වෙන ආණ්ඩු මීට පස්සෙ නෑ කියන එක අපි ඒගොල්ලන්ට කියන්න ඕනෙකම තියෙනවා.”
ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ඊයේ (01) කලුතරදී පැවති ජාතික ජන බලවේග මැයි රැලිය අමතමිනි.