ලේඛක දීප චෙල්වන්ගේ නිදහස් නොකළ පොත් දෙකෙහි අනතර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩනීති සංග්‍රහය සමග විශාල ගැටීමක් ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
“දීප චෙල්වන් මහත්තයා ආරක්ෂා වෙලා ඉන්නෙ අපි ගත් ක්‍රියාමාර්ගය නිසයි. ඒක කවුරුවත් දන්නෙ නැහැ. මම හිතන්නෙ අනෙක් පොත් දෙක නිදහස් වෙන එකක් නැහැ. මගේ පෞද්ගලික හැඟීම ඒ පොතේ දෙකේ තියෙන බොහෝ දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩනීති සංග්‍රහය එක්ක විශාල ගැටීමක් තියෙනවා.
ඒ එක පොතක පිටකවරය එළියට පෙන්වන්නෙත් නැහැ. ඒකෙ තියෙන්නෙ බෙදුම්වාදී සිතියම. ඒ වෙනුවට ඔවුන් එළියට දාන්නේ නඩුගල්’ කියන පරණ පොත. ‘නඩුගල්’ කියන්නේ ‘ස්මාරක ශිලාවත’ නමින් සිංහලයට පරිවර්තනය වුණ පොතක. මේක හංගගෙන යන්නෙ.
අපි මේකට මැදිහත් වෙන්නේ ආචාරධාර්මිකව. පොත් තහනම් වෙලා, බාහිර සමාජයේ සංවාදයක් තියෙද්දී ඊට අදාළ අමාත්‍යාංශය ඒ ගැන විමසීමක් කරන එක හොඳ නිසා. අපි ඉතා යහ චේතනාවෙන් තමයි මේකට මැදිහත්වුණේ. එහෙම නැතිව නෛතික කිසිම බැඳීමක් නැහැ. පොත් නිදහස් කිරීම රේගුවේ වැඩක්.
ඒ සියල්ල අමතක කරල මේ සිදුවීම අල්ලගෙන පිරිසක් දේශපාලනය කරනවා. දීපචෙල්වන් මහත්තය දැන් යාපනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාල. ඒක ඉතාම හොඳයි. හේතුව මානව හිමිකම් පරික්ෂා කරන්නේ පොතේ අන්තර්ගතය. ඒවා ගැටෙන්නෙ තැන් මොනවද කියලයි. ඒ දේවල් ඒ මහත්තයට මානව හිමිකම් සංවිධානය හොයල දෙයි.”
ඉරිදා අරුණ