තවත් මාස හයක් මේ ආණ්ඩුව ඉදිරියට ගියහොත් විපක්ෂයේ බොහෝ දෙනෙකුට අත්වන ඉරණම දන්නා හෙයින් ගල් අඟුරු නොව දැලි අඟුරුවලින් හෝ ආණ්ඩුව පෙරළා ගැනීමට විපක්ෂය දැඩි උත්සාහයක නිරත වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.
තව මාස හයක් ආණ්ඩුව තිබුණහොත් දරුවන් 276ක් ඝාතනය කළ පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සුරේෂ් සලේ පමණක් නොව ඊට සම්බන්ධ දේශපාලකයින්ද හිරේ යාමට නියමිත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මැති ඇමති වරප්‍රසාද විශ්‍රාම වැටුප්, ඇමති නිවාස, ආරක්ෂක රථ අහෝසි කර, වංචා දූෂණ නතර කර, ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය ජීවිත ගතකරන මහජන නියෝජිතයන් නිර්මාණය කළ ආණ්ඩුවට දවස පුරා පහර දෙන්නේ ඔවුන්ගේ මෙම දේශපාලන වුවමනාව නිසා බවද අසිත නිරෝෂණ අවධාරණය කරයි.
ජනතාව විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්කළේ අනාගතය වෙනුවෙන් යුක්තිය හා සාධාරණ සමාජයක් හැදීමට මෙන්ම ඉතිහාසයේ සිදුවූ අපරාධවලට දඬුවම් දීමටත් බව හෙතෙම සිහිපත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මෙම අදහස් පළ කළේ ඊයේ (22) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වුන නිවාස සඳහා රු. ලක්ෂ 05ක වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.