ආණ්ඩුව එක ඩීසල් නැවට වැඩිපුර රු. කෝටි 586 බැගින් ගෙවලා… නැව ආවේ හෝමුස් යුද කලාපයෙන් නෙමෙයි සිංගප්පූරුවෙන්…!

April 20, 2026 at 5:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකා තෙල් සංස්ථාව බැරලය ඩොලර් 286 බැගින් ඩීසල් මිලට ගෙන ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යුද කලාපයෙන් පැමිණි නැවකින් නොව සිංගප්පූරු නැවකින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පිිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

“පසුගිය ඉන්ධන අර්බූදය සමයේ ඩීසල් බැරලයකට මුළු ලෝකයේම වැඩිම මිල වන ඩොලර් 286 ගෙවලා තිබෙන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව. මම නොවේ එහෙම කියන්නේ. එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජස් එල්හෙඩෙරි. මුලින්ම ජෝර්ජස් කිව්වේ ලංකාව තෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවලා කියලායි. තෙල් වර්ගය මොකක්ද කියලා කිව්වේ නෑ. තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා ලොකු පචයක් දෙසා බෑවා. සභාපතිතුමා හිතුවේ ජනාධිපතිතුමා පචවලින් ලංකාව රැවැට්ටුවා වගේ එයාට පචවලින් මුළු ලෝකයම රවටන්න පුළුවන් කියලා.

අපි බොරතෙල් බැරලයක් අර ගත්තේ ඩොලර් 71යි 113යි අතර මිල ගණන්වලට. මේ බොරුව ප්‍රචාරය කරලා සංස්ථාව අපකීර්තියට පත් කරපු අයට විරුද්ධව නඩු දානවා කියලා සභාපතිතුමා කිව්වා. එතකොට තමයි එච්එස්බීසී කිව්වේ අපි තෙල් කිව්වාට බොරතෙල් කිව්වේ නෑ. ඩොලර් 286ක් ගෙවලා අරන් තිබෙන්නේ බොරතෙල් නොවේ ඩීසල් කියලා. ඒ පාර සභාපතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා ඔව් ඩීසල් නම් ඩොලර් 286 ගණනේ අර ගත්තා තමයි කියලා. කිසිම හොරකමක් හොර හිතක් තිබුණේ නැතිනම් අපි බැරලය ඩොලර් 286 ගණනේ ඩීසල් ගත්තා තමයි කියලා අර නිවේදනය නිකුත් කරපු වෙලාවේම කියන්න තිබුණානෙ. සභාපතිතුමා උත්සාහ කළේ නොකිව්ව බොරතෙල් එකක් ගාවගෙන මුළු ලෝකයම නොමග යවන්නයි.

තෙල් සංස්ථාව අපට තවමත් ලෝකයේ ඉහළම මිලට ලංකාවට ඩීසල් ගන්න වුණේ ඇයි කියන එක පැහැදිලි කරලා නෑ. බැරලය ඩොලර් 286 ගණනේ මිල දී ගත්තේ කොහෙන්ද? ගැනුම් මිල කීයද? අධිමිල කීයද? කොපමණ ප්‍රමාණයක් ගත්තා ද වැනි විස්තර කිසිවක් පැහැදිලි කලේ නෑ. නමුත් අපි වැඩිපුරම ඩීසල් මිල දී ගන්නේ සිංගප්පූරුවෙන් නිසාත් සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය ගැන සභාපතිතුමා මාධ්‍ය හමුවේ දී සඳහන් කළ නිසාත් අපි ඩීසල් මිල දී ගත්තේ සිංගප්පූරුවෙන් කියලා අනුමාන කරමුකෝ.

එතුමා කිව්ව විදියට මේ මිල දී ගැනීම කරන්නේ අප්‍රේල් පළමු සතියේ. ඩීසල් මිල ඉහළම මිලක් වාර්තා කළ සතියේ. මිල නියම වුණේ ඒ සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ සාමාන්‍ය මිල පදනම් කරගෙන කියලානෙ සභාපතිතුමා කිව්වේ. 2026 අප්‍රේල් පළමු සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ ඩීසල් සාමාන්‍ය මිල ඩොලර් 224යි. අපි ගත්තු මිල ඩොලර් 286යි. ඒ කියන්නේ එක බැරලයකට ඩොලර් 62ක් අධිමිල නැතිනම් ප්‍රිමියම් එකක් ගෙවන්න වෙලා තිබෙනවා. තෙල් නැවක් කියන්නේ සාමාන්‍යයෙන් බැරල් ලක්ෂ තුනක් විතර. ඒ කියන්නේ ඩීසල් බැරල් ලක්ෂ තුනක් මිල දී අරන් තිබ්බොත් අධිමිල ඩොලර් මිලියන 18.6ක් නැතිනම් රුපියල් කෝටි 586ක්. හොඳට මතක තියා ගන්න. මේ එක නැවක අධිමිල විතරයි.

අධිමිල කියන්නේ නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුවාගේ ලාභය කියන අයිතම තුනේ එකතුවට. යුද කලාපයේ රතු මුහුදෙන් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගෙනාපු තෙල් වලට වඩා සාමකාමි සිංගප්පූරුවෙන් අපි ගෙනාපු තෙල්වලට රක්ෂණය වැඩි වුණේ කොහොමද? ජපානයට නවසීලන්තයට වගේ ඈත රටවලට යන නැව්වලට වඩා අපේ නැව් ගාස්තු වැඩි වුණේ කොහාමද? වෙනත් කිසිම රටක සැපයුම්කරුගේ ලාභයට වඩා අපේ සැපයුම්කරුගේ ලාභය වැඩි වුණේ අගරු කුමාරටයි අඟුරු කුමාරටයි පැලවත්තටයි ගෙවන කොමිස් සැපයුම්කරුගේ ලාභයට එකතු කරපු නිසා ද? මෙන්න මේවාට තමයි බිග් කුච්චන් කියන්නේ. විෂය භාර ඇමති අගරු කුමාර වෙන කොට රටේ ජනපති අඟුරු කුමාර වෙන කොට පැලවත්ත විශේෂ බද්දක් ක්‍රියාත්මක වෙන කොට ලෝකයේ ඉහළම මිලට ඩීසල් ගත්ත රට ලංකාව වීමත් පුදුම වෙන්න දෙයක් නෑ.

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් කියලා මම බය නැතිව කියනවා. මම මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා නොවේ. ඒ නිසා මම කියන්නේ බොරු නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම අභියෝග කරනවා. මම මගේම ආණ්ඩුවල දූෂිතයන්ට විරුද්ධව කෑ ගහලා දෙපාරක් ඇමතිකම් නැති කර ගත්තු මිනිහෙක්. ඒ නිසා හොරාට හොරා කියන්න එදා බය වුණෙත් නෑ. අද බය වෙන්නෙත් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස