ගල් අඟුරු වංචාවේ පාඩුව කෝටිපති ඇමතිවරු සහ ජවිපෙ දැරිය යුතුයි…!

April 19, 2026 at 10:37 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉතා කෙටි කාලයක් තුළදී කෝටිපතියන් වී තිබෙන නිසා ගල් අඟුරු වංචාවේ පාඩුව ඔවුන්ගෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලින් පියවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ පවසයි.

ගල් අඟුරු වංචාවෙන් සිදුව ඇති පාඩුව ජනතාව මත නොපටවන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණද එම පාඩුව විවිධ ක්‍රම ඔස්සේ ජනතාවගෙන් අය කර ගැනීමට මේ වන විටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

සුජීව සේනසිංහ තව දුරටත් කියා සිටියේ ගල් අඟුරු වංචාව හේතුවෙන් රටට සිදුවන හානිය මුල සිටම විපක්ෂය විසින් පෙන්වා දුන්නද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරමින් ආණ්ඩුව ඉතාමත්ම උද්දච්ච ආකාරයෙන් හැසුරුණු බවයි.

මේ ආණ්ඩුවේ විජිත හේරත්, බිමල් රත්නායක, නලින් ද ජයතිස්ස කැබිනට් අමාත්‍යවරුන් එකට එකතු වී ආණ්ඩුවට එල්ල වී තිබෙන ගල් අඟුරු වංචාවේ චෝදනාව සෝදා හැරීමට දැඩි උත්සහයක් ගත්තත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින නිසා මින් ඉදිරියට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරියත් මාධ්‍ය හමු පැවැත්වුවොත් ඊට ද පුදුම විය යුතු නැති බව සුජීව සේනසිංහ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *