ඩොලර් 286ට තෙල් ගෙනාවේ නෑ… බොරු කියන අයට නඩු දානවා…!

April 17, 2026 at 11:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන්වනු ලබන්නේ තමන් විසින් සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණක් බවත් තමන් ගෙන්වූ හෝ ගෙන්වීමට ගිවිසුම් ගතවූ කිසිදු බොරතෙල් තොගයක බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව සංස්ථාවේ කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ හෙළාදකින අතර අදාළ සියලුම පාර්ශ්වවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් එම සංස්ථාව නිවේදනය කර තිබේ.

තෙල් සංස්ථාව මෙම නිවේදනය නිකුත් කර තිබුණේ HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමින් “මිඩ්ල් ඊස්ට් අයි” වෙබ් අඩවිය පළකර තිබූ පුවතක් සහ එම පුවත උපුටා දක්වමින් මෙරට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පළකර තිබූ ඇතැම් පුවත්වලට ප්‍රතිකාර වශයෙනි.

“මිඩ්ල් ඊස්ට් අයි” වෙබ් අඩවියෙහි පුවතින් දැක්වුණේ ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල, එනම් අමෙරිකානු ඩොලර් 286ක් ගෙවා ඇත්තේ ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු විසින් යැයි HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී පැවසූ බවකි.

පුවත් සිරස්තලවල තෙල් බැරලයක මිල ඩොලර් 100යි, 110යි යනාදී වශයෙන් සඳහන් වුවත් ප්‍රායෝගිකව ගත් කල ඒ මිල මීට වඩා ඉහළ අගයක් ගන්නා බවත් මේ මොහොතේ මැදපෙරදිගින් තෙල් මිලදී ගැනීමට උත්සාහ කරන්නේ නම් ඩොලර් 140ක්, 150ක් ගෙවීමට සිදුවනු ඇති බවත් පැවසූ HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා තමන්ට දැනගන්නට ලැබුණු ආකාරයට තෙල් බැරලයකට ඉහළම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු බවත් ඒ, ඩොලර් 286ක් බවත් සඳහන් කළ බවයි “මිඩ්ල් ඊස්ට් අයි” වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *