විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව චෝදනා කරයි.
අද (15) නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය.
පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.
“බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා විදුලි නිෂ්පාදනයට ඩීසල් බලාගාරවල විදුලිය ජනනය කිරීමේදී අධික පිරිවැයක් දරන්නට සිදුවෙන බව දැනටමත් වාර්තා වෙනවා. සිදුවන පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට එරෙහි විරෝධතා මතුවන නිසා ආණ්ඩුව මෙම තීන්දුව අරන්. ‘එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වූ කාරියා’ කියලා අර ඉඳුරුවෙ ආචාරියා ගැන කියනවා වගේ දැන් ආණ්ඩුව මේ බාල ගල්අඟුරු ප්‍රශ්නය නිසා සීයක් කඩතොලු ඇති කරමින් තිබෙනවා.
අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 පට්ටමේ පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවෙ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා.
ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වන විට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්වයක් මේ වන විට උද්ගතව තිබෙනවා.
මේ වන විට ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වෙලා. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් පාරිභෝගික අවශ්‍යතාව ඝන මීටර් 12000ක් වුවත් දෛනිකව බෙදාහරින්නට හැකිව තියෙන්නෙ ඝන මීටර් 500ක් පමණයි.
ඒ විතරක් නෙවෙයි, මේ හේතුව නිසා පල්කෙැලේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සැපිරීම අභියෝගයක් වෙලා, මොකද ජලය නැති නිසා අප්‍රේල් 10 වැනිදා කම්හල් වසා දමන්නට පියවර අරන්.
මේ තත්වය නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය විදියට කළමනාකරණයේ ගැටලුවක් ඇති වන නිසා මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙනවා. අපි ආණ්ඩුවට කියන්නෙ වහාම මේ අමනෝඥ තීරණය හකුලා ගන්න කියලා.”