ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ සැපයුම්කාර සමාගමක නියෝජිතයෙකු අතර සිදුවූයේ යැයි පැවසෙන ආන්දෝලනාත්මක දුරකතන සංවාදයට අදාළ පරීක්ෂණ, 2009 වසරේ සිට සිදුවූ ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසමටම යොමු කිරීමේ උත්සාහයක් පවතින බවට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
“ගල් අඟුරු ලොක්ක හේලිස් එකත් එක්ක කරන කතාවෙ හඬ පටය – ඒ කියන්නෙ එයා ජනාධිපතිවයි, ධම්මික පෙරේරාවයි, තව මහත්තයෙකුයි විතරයි බේරගන්නෙ කියල කියල කියපු සහ බැක් ඩේට් කරල ඩොකියුමන්ටස් බාර දෙන්න කියපු හඬපටය – ගැන පෙරේද පා.ම. මුජිබර් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරානෙ.
ඒක ගැන පරීක්‍ෂණය නොකර අර 2009 ඉඳන් දානව කිව්ව ගල් අඟුරු මිළ දී ගැනීම ගැන හොයන්න “ජනාධිපති කොමිසමටම” දාමු කිව්වලු. මේ ගොල්ල කයිය ගැහැව්වට ඊයෙ හරියට අවුරුදු කාලවත් නැහැ. මේ හඬපටය ගැන තමා කතාව. 2009 ඉඳන් ඒව හොයන එකට ඒකත් දැම්මම තව අවුරුද්දකට වඩා ඒක වහගන්න පුළුවන් කියල තමා ඊයෙ සමහරු තර්ක කරල තියෙන්නෙ.
ජනාධිපති ලේකම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 2009 සිට ගල් අඟුරු මිළදී ගැනීම හොයන්න කියල දාපු පැමිණිල්ල ගැන හොයනව නම්, මේ හඬපටය ගැනත් හොයන්න ඕන! විපක්‍ෂය මේ ගැන වඩාත් අවදියෙන් ඉඳල මේ හඬපටය ගැන වෙනම පරීක්‍ෂණයක් ඕන කියල ලොකු සද්දයක් දිගටම දාන්න ඕන.”
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රතනායක පවසන්නේ අදාළ සංවාදය විකෘති කර ප්‍රචාරය කරන බවයි.
2026 මාර්තු 25 දිනැති බැංකු ඇපකරයක් ලබාදෙන ලෙස තමන් කළ දැනුම්දීමක් මෙලෙස වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.