ජාතික ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන ඇමති ලාල් කාන්තගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි තට්ටු තුනකින් යුත් නිවස සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිහිපයක් මතු වී ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
සිය යූ ටියුබ් නාලිකාව හරහා විශේෂ විග්‍රහයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ රැකියාවක් නොකරන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ලාල් කාන්තට මෙවැනි නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ධනය ලැබුණේ කෙසේද යන්න ප්‍රධන ප්‍රශ්නය බවයි.
එමෙන්ම, ඔහු ඇමතිවරයෙකු වී කෙටි කලකින් මෙවැනි නිවසක් ඉදිවීමත්, ඒ සඳහා සිය තනතුර පාවිච්චි කළේ ද නැතහොත් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් ‘කප්පන්’ ලබා ගත්තේ ද යන්න පිළිබඳව ද සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇත.
කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ වැව් අසල හෝටල් පිළිබඳ ප්‍රශ්නයේදී ලාල් කාන්ත සිදුකළ ප්‍රකාශයන් සහ මෙම නිවස ඉදිකිරීම අතර යම් සම්බන්ධයක් තිබේදැයි ඇතැම් පාර්ශ්ව සැක පළ කරන බව ඔහු සඳහන් කරයි.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ලාල් කාන්තගේ තමන්ට පුදුමයක් නොවන බවත් මෙය 1989න් පසු ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදු වූ දේශපාලන පරිවර්තනයේ එක් අංගයක් පමණක් බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණ සැම විටම තමන්ව හඳුන්වා ගත්තේ ‘නිර්ධනීන්ගේ’ හෝ ‘නිර්ප්‍රභූන්ගේ’ පක්ෂයක් ලෙස බවත් එහි පැරණි නායකයන් අතිශය දුෂ්කර ජීවිත ගතකළ බවත් එවැනි පසුබිමක සිටි පක්ෂයක නායකයෙකු මෙලෙස මධ්‍යම පන්තිකයන්ට සිහිනයක් බඳු නිවසක් ඉදිකිරීම, ඔවුන්ගේ දේශපාලන සදාචාරය පාවා දීමක් ලෙස ඇතැමුන් දකින බව ඔහු පවසයි.
‘කුසට සාගිනි – හදට සෝගිනි’ වැනි කවි වේදිකාවල කියමින් ජනතාව ඇමතූ පක්ෂයක නායකයන් මෙලෙස සුඛෝපභෝගී ජීවිත ගත කිරීම ප්‍රබල විවේචනයට ලක්ව තිබේ.
මෙවැනි නිවසක් ඉදිකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් නොවන නමුත්, ආණ්ඩුකරණයට පැමිණෙන පුද්ගලයන් තම වත්කම් සහ මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මහ ජනතාවට වගකීමට බැඳී සිටින බව ආචාර්යවරයා අවධාරණය කරයි.
ලාල් කාන්තට මෙම මුදල් ලැබුණේ කොහෙන්ද, නිවසට කොපමණ මුදලක් වැය වුණේද සහ ඉඩම ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ඔහු තම ඡන්දදායකයන්ට හෙළි කළ යුතු බව ඔහුගේ මතයයි.
ඔහු පවසන්නේ, මෙම ආණ්ඩුව තරම් මහජන සුපරීක්ෂාවට ලක්වන වෙනත් පක්ෂයක් නොමැති බවත්, ඔවුන් මෙම ප්‍රශ්නවලට විවෘතව මුහුණ දිය යුතු බවත්ය.