කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්තට අයත් බව කියන කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
සමාජ ක්‍රියාකාරීකයෙකු වන අභීත එදිරිසිංහ විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ, අනීතික ලෙස උපයාගත් දේපළ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා පොලිසිය හඳුන්වා දී ඇති ‘1818’ විශේෂ දුරකථන අංකය ඔස්සේය.
සිය youtube නාලිකාවේ පටිගත කිරීමක් ඔස්සේ දුරකථනය මඟින් පොලිසිය නිකුත් කළ විශේෂ අංකය අමතා පැමිණිලිකරු පෙන්වා දුන්නේ කඩුවෙල, වැලිවිට පාරේ ජුසේ මාවතේ පර්චස් 30ක ඉඩමක මෙම තට්ටු තුනක නිවස ඉදිකර ඇති බවයි.
එය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වෙතින් ලබාගත් කප්පම් මුදලක් මගින් ඉදිකරනු ලැබූවක් බවද Dark room නාලිකාව මගින් කළ අනාවරණයක් උපුටා දක්වමින් ඔහු පවසා සිටියේය.
එසේම අදාළ ඉඩමේ වටිනාකම පමණක් රුපියල් මිලියන 30-51ත් අතර වන බවත්, මෙම දේපළ අමාත්‍යවරයාගේ දියණියගේ නමට ලියාපදිංචි කර ඇති බවත් මීට පෙර අමාත්‍යවරයා තමන් සතුව දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා පවා මුදල් නොමැති බව ප්‍රකාශ කර තිබියදී මෙවැනි වත්කමක් උපයා ගැනීම සැක සහිත බවත් ඔහු සඳහන් කළේය .
චැනල් 4 නාලිකාවේ අනාවරණයන් මත පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ පරීක්ෂණ පවත්වන්නේ නම්, දේශීය යූටියුබ් නාලිකාවක් කළ මෙම හෙළිදරව්ව ගැන ද පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කරයි.
මෙම නිවස ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන උපයාගත් ආකාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු රටට අනාවරණය කරන ලෙස ඔහු පොලිසියෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.