පොලිස් මාධ්‍ය ප්‍රකාශක මූලික අයිති නඩුවකින් පරදී… වන්දි ගෙවන්න වෙයි…!

April 2, 2026 at 4:50 pm | by emanisa.lk

2017 වසරේ මීගමුව පොලිස් ස්ථානයේදී නීතිඥවරයෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වුට්ලර් උදයකුමාරට රුපියල් 60,000ක වන්දි මුදලක් පෞද්ගලිකව ගෙවන ලෙස නියෝග කළේය.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් බහුතර විනිසුරු එකඟතාවයෙන් විභාග කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

සිද්ධිය වන අවස්ථාවේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එහි විවිධ පැමිණිලි අංශයේ එවකට ස්ථානාධිපති මධුශංක ඩයස් යන නිලධාරීන් පෙත්සම්කාර නීතිඥවරයාගේ වෘත්තීය නිදහසට අවහිර කර ඇති බව අධිකරණය නිගමනය කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වුට්ලර් උදයකුමාර රුපියල් 60,000ක වන්දි මුදලක් ගෙවීමට නියම විය.

පොලිස් පරීක්ෂක මධුශංක ඩයස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(g) වගන්තිය යටතේ සහතික කර ඇති නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුපියල් 30,000ක වන්දි මුදලක් ගෙවීමට නියම විය.

වන්දි මුදලට අමතරව, වගඋත්තරකරුවන් දෙදෙනාම රුපියල් 10,000 බැගින් නඩු ගාස්තු ලෙස පෙත්සම්කරුට ගෙවිය යුතු බවටද අධිකරණය නියෝග කළේය.

මීගමුව පොලිස් ස්ථානයේ පැවැති පරීක්ෂණයකදී සිය සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම නිලධාරීන් දෙදෙනා තමන්ට බාධා කළ බව නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

මෙම තීන්දුව ජනක ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඩුල්ලේ එකඟතාවයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

කෙසේ වෙතත්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සඳහන් කළේ අදාළ තත්ත්වයන් යටතේ පෙත්සම්කරුගේ වෘත්තීය අයිතිය උල්ලංඝනය වී ඇති බවට එකඟ විය නොහැකි බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක මහතා පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *