රජයේ මැති ඇමතිවරුන්ට මසකට ලැබෙන ඉන්ධන දීමනාව හේතුවෙන් ඔවුන්ගේ වැටුප වක්‍රව රුපියල් 80,000 කින් පමණ ඉහළ ගොස් ඇති නමුත් ඉන්ධන අර්බුදය නිසා වෛද්‍යවරුන්ට තම රාජකාරිය සඳහා රෝහලට යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
ඉන්ධන මිල රුපියල් 100 කින් ඉහළ යාමත් සමඟ මසකට ඉන්ධන ලීටර් 800 ක් ලබා ගන්නා මැති ඇමතිවරුන්ගේ වැටුපට ඉබේම රුපියල් 80,000 ක මුදලක් එකතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මහ ජනතාවට ඉන්ධන පිරිමසින ලෙස පවසන ඇමතිවරුන්, තවමත් ඉන්ධන කාර්යක්ෂමතාව අඩු ‘V8’ වර්ගයේ සුඛෝපභෝගී රථවලින් ගමන් කරන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් පොදු ප්‍රවාහනය හෝ ඉන්ධන පිරිමසින කුඩා රථ භාවිත කළ හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.
වෛද්‍යවරුන් මුහුණ දෙන අර්බුදය පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, කොළඹ සිට මහියංගනය වැනි දුර බැහැර රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට සති අන්තයේ නිවසට පැමිණ නැවත සේවයට යාම සඳහා අවම වශයෙන් ඉන්ධන ලීටර් 40ක් අවශ්‍ය වන බවයි.
දැනට ලැබෙන සතිපතා ලීටර් 25 ක කෝටාවෙන් එම අවශ්‍යතාව සපුරාගත නොහැකි බවත්, ඉන්ධන සඳහා පමණක් මසකට රුපියල් 35,000 කට අධික මුදලක් වැටුපෙන් වැය කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බවත් ඔහු පවසයි.
ආණ්ඩුව වෛද්‍යවරුන්ට පොදු ප්‍රවාහනයෙන් සේවයට පැමිණෙන ලෙස පැවසුවද, හදිසි ප්‍රතිකාර සහ රාත්‍රී සේවා සඳහා එය ප්‍රායෝගික නොවන බව චමිල් විජේසිංහ අවධාරණය කරයි. මෙම තත්ත්වය නිසා වෛද්‍යවරුන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම අධෛර්යමත් වන බවත්, මෙය වෛද්‍ය සේවය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමක් බවත් ඔහු පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය බිඳවැටී ඇති පරිද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද රජය මෙවැනිම අත්තනෝමතික ක්‍රියාකලාපයක් අනුගමනය කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.