අර්බුදයකදී විරෝධතා කර රාජ්‍ය අස්ථාවර කරන්න ජවිපෙට ඇති හැකියාව ප්‍රබලයි… ඒ නිසා ලෝක යුද අර්බුදය අවස්ථාවේ මාලිමාණ්ඩුව පැවතීම හොඳයි…! – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

March 25, 2026 at 6:08 am | by emanisa.lk

වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින තියුණු ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළහොත් රට මීට පෙර කිසිදා නොවූ විරූ අන්දමේ අතිශය දේශපාලන අස්ථාවරභාවයකට ඇද වැටිය හැකි බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින ලෝක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට තනිවම මෙම අර්බුදවලින් මිදීමට නොහැකි බවත්, දේශපාලන ස්ථාවරභාවය රැකගැනීම සඳහා දැනට පවතින හොඳම විකල්පය මෙම ආණ්ඩුව බවත්ය.

ලෝකය මේ වන විට තෙල්, ගෑස් සහ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ජාත්‍යන්තර සැපයුම් ජාල අඩපණ වීම නිසා ඉදිරියේදී මෙය තවත් තීව්‍ර විය හැකි බවත් දේවසිරි මහතා සඳහන් කරයි.

පැරණි ලෝකයේ මිනිසුන් ස්වයංපෝෂිතව ජීවත් වුවද, නූතන ලෝකය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මත තදින් රඳා පවතින බවත්, පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ජාත්‍යන්තර වෙළඳාම මත රඳා පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවැනි පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් හරහා මතුවන අන්ත ජාතිකවාදය ලෝකයේ වර්තමාන ගැටලුවලට සාර්ථක විකල්පයක් නොවන බව ඔහුගේ මතයයි.

අර්බුදකාරී වටපිටාවක ජනතාවගේ ඉහළ අපේක්ෂාවන් ඉටු කිරීමේ අභියෝගය, පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වැනි පිරිස් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි වාමාංශික කණ්ඩායම්ද පොදු සතුරෙකුට එරෙහිව වක්‍රව හෝ සෘජුව එක් වෙමින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීම වශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරියේ ප්‍රධාන අභියෝග දෙකක් පවතින බව ආචාර්යවරයා පවසයි.

ආචාර්ය දේවසිරි මහතා තර්ක කරන්නේ, මෙම ආණ්ඩුව පෙරළා දමා පැරණි දේශපාලන පන්තිය නැවත බලයට පැමිණියහොත් එය 2015 ආණ්ඩුවටත් වඩා දරුණු අස්ථාවර පාලනයක් වනු ඇති බවයි.
මහජන විරෝධතා සංවිධානය කිරීමට සහ ඒවා පාලනය කිරීමට ජාතික ජන බලවේගයට ඇති හැකියාව නිසා, ඔවුන් ආණ්ඩු බලයේ සිටීම දේශපාලන ස්ථාවරභාවයට හිතකර බව ඔහු පෙන්වා දෙයි.

පරිපාලනමය දුර්වලතා කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය තාක්ෂණික ශිල්පීන් හරහා යම් මට්ටමකට සිදු වුවද, ඔවුන්ගේ දේශපාලන කළමනාකරණය අතිශයින්ම අපරිණත බව ඔහු විවේචනය කරයි.

පක්ෂ කාඩර්වරුන් හරහා සිදුකරන දේශපාලන මෙහෙයුම් දුර්වල මට්ටමක පවතින බවත්, එය ආණ්ඩුවේ අනාගතයට බලපෑම් කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස