පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා… වෙඩි තැබීම් ඝාතන ඉහළ ගිහින්…. විපක්ෂයෙන් ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක්…!

March 25, 2026 at 10:50 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍යහිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ලවන බව පවසමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක් යොමුකර තිබේ.

වාර්තාවන අන්දමට එමගින් පවසා ඇත්තේ මෙරට පොලිස්පතිවරයා සහ පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවයි.

ජාත්‍යන්තර නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීති සංගමය, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, අම්නෙස්ට් ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයකට යොමුකර ඇති මෙම ලිපිය සඳහා විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්සන් තබා තිබේ.

එම ලිපියෙන් පවසා ඇත්තේ ගිනිඅවි භාවිතයෙන් රට තුළ සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන ඉහළ ගොස් ඇති බවයි. ගෙවීගිය වසරේ එවැනි සිදුවීම්වලින් ජීවිත 60ක් අහිමිවී ඇති බවත්, මෙම වසරේ තවත් ජීවිත 09ක් අහිමි වී ඇති බවත් එහි දැක්වෙන බවයි පැවසෙන්නේ. පෙබරවාරි 13 වනදා අධිආරක්ෂිත කලාපය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මියයාම මෙරට නීති ක්ෂේත්‍රය තුළ කම්පනයක් ඇති කළ බවත් එම ලිපියේ සඳහන්ව ඇත. අදාළ නීතිඥවරයා ඝාතනයට ලක්වී පැයක් ගතවීමටත් මත්තෙන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි වෘත්තිකයෙකු ලෙස පොලිසිය හුවා දැක්වීමෙන් මහජන මනසේ එම නින්දිත හා මිලේච්ඡ ක්‍රියාවේ බරපතළකම අඩු කිරීමට කටයුතු කළ බව මෙම ලිපියේ දක්වා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *