ලංකාවේ ඉරණම තීන්දු වන්නේ ලෝකය මතයි… මැයි තෙල් මිල වැඩිකිරීම දරාගන්න බැරිවෙයි…!

March 23, 2026 at 10:29 am | by emanisa.lk

පවතින යුදමය තත්ත්වය ඉදිරි සති කිහිපයේදි සමනය නොවුණහොත් මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ජනතාවට දරාගත නොහැකි අන්දමින් වැඩිකිරීමට සිදුවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පවතින යුද්ධය හෙට දිනයේ අවසන් වුවද, ඉන්ධන නිෂ්පාදනයට සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති බලපෑම හේතුවෙන් එහි ආර්ථික පීඩනය වහාම අවසන් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැනටමත් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ රජය ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබා දෙන බවත්, ඒ සඳහා රජය මසකට රුපියල් බිලියන 20 ක අතිවිශාල පිරිවැයක් දරන බවත් ඔහු සඳහන් කරයි.

පවතින ගෝලීය යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සැපයුම් ජාල බිඳවැටීම හේතුවෙන්, ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කරයි.

මාර්තු 24 සහ 25 දිනවල ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000ක බොරතෙල් නොපැමිණෙනු ඇති බවද අප්‍රේල් 12-13 පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000 බොරතෙල් නැවේ පැමිණීමද යම් අවදානමක් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ නිසා ලංකාවේ තෙල් පිරිපහදුවෙන් නිකුත් කරන ඩීසල් 30% සහ පෙට්‍රල් 25% වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි විය හැකි බවද ඇමති නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *