දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් (Sergio Gor) සිය ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව කොළඹ වරායේ වැදගත්කම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් තම X ගිණුම ඔස්සේ නිකුත් කර තිබේ.
කොළඹ වරාය අධිකාරියේ සභාපතිවරයා සමඟ වරාය මෙහෙයුම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා අවධාරණය කළේ, දකුණු ආසියාව ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරන ප්‍රධානතම මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය ක්‍රියා කරන බවයි.
සර්ජියෝ ගෝර් සිය ප්‍රකාශය මඟින් පෙන්වා දෙන්නේ සාගර කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත කලාපයටම තීරණාත්මක වන බවයි.
අමෙරිකා – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය හරහා විනිවිදභාවයකින් යුත් ආරක්ෂිත වෙළෙඳාමක් ප්‍රවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටී. වරාය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට සහ තාක්ෂණිකව දියුණු කිරීමට අමෙරිකානු සහාය අඛණ්ඩව ලබාදෙනු ඇත.
ගෝලීය සැපයුම් දාමයන්හි අඛණ්ඩතාව ආරක්ෂා කිරීම තුළින් අමෙරිකානු නිෂ්පාදකයින්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද සෘජු වාසි සැලසෙන බව ඔහු පෙන්වා දෙයි.