අප්‍රේල් මාසේ ඩීසල් ලීටරේ රුපියල් 470ට නගින එක අනිවාරයයි…! – දයාසිරි ජයසේකර…

March 19, 2026 at 3:00 pm | by emanisa.lk

ලබන අප්‍රේල් මස 07 වනදා මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නැවෙහි මිල ගණන් අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 550-600ත් අතර අගයකට අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනතුරු අඟවයි.

රජය විසින් ක්‍රමානුකූලව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙලෙස පෝලිම්වල සිටීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පවසන පරිදි, අලුතින් නිකුත් කර ඇති ටෙන්ඩරය සිංගප්පූරුවේ Aditya Birla සමාගමට හිමිව ඇති අතර එමගින් ඩීසල් බැරල් 280,000ක් ගෙන්වීමට නියමිතය. එහි Premium ගාස්තුව ඩොලර් 45.64ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව පෙට්‍රල් 92 බැරල් ලක්ෂ තුනක් ගෙන්වීමට නියමිත අතර එහි ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 18.62කි. අප්‍රේල් 12 වනදා මෙරටට පැමිණීමට නියමිත දැවිතෙල් බැරල් 3,000ක් සඳහා වන ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 166ක් ලෙස සටහන් වේ.

මිල ඉහළ යාම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 2022 ජුනි මාසයේදී ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 30-34 අතර පැවති සමයේ ඩීසල් ලීටරයක් රුපියල් 470කට අලෙවි කළ බවයි. එහෙත් වර්තමාන ටෙන්ඩරය අනුව ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 45 ඉක්මවා ඇති බැවින්, ඩීසල් මිල රුපියල් 600 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා, තෙල් මිල රුපියල් 50කින් වහාම අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. තෙල් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීමට ඇති රුපියල් බිලියන 1200ක ණය මුදල පියවීම සඳහා පනවා ඇති බදු මුදල් අයකර ගැනීම තාවකාලිකව කල් දමන ලෙස ඔහු යෝජනා කරයි.

2029 වසර දක්වා ගෙවීමට නියමිත මෙම ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 656ක් දක්වා අඩු වී ඇති බැවින්, එම ණය පියවීමේ කාලය මසකින් පමණ කල් දමා එම සහනය ජනතාවට ලබා දිය හැකි බව ඔහුගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *