සතියේ ඉන්ධන කෝටාව වරුවකටත් මදියි… බස් සංගම් විරෝධයේ…!

March 15, 2026 at 11:33 am | by emanisa.lk

රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති නව ඉන්ධන සීමා කිරීම්වලට එරෙහිව බස් රථ හිමියන් සහ බස් රථ සංගම් සිය දැඩි විරෝධය පළ කරයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයට අනුව, බස් රථයක් සඳහා සතියකට නියමිත ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ක් ලෙස සීමා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බස් රථ සංගම් පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම දිගු දුර ධාවනය වන බස් රථ සඳහා මෙම ප්‍රමාණය වරුවක ගමනාන්තයක් සඳහා පවා ප්‍රමාණවත් නොවන බවයි.

අනෙකුත් සාමාන්‍ය බස් රථ සඳහා ද මෙම ලීටර් 60 කෝටාව උපරිම වශයෙන් දිනක හෝ දෙකක ධාවන කටයුතු සඳහා පමණක් සෑහෙන බව ඔවුහු අවධාරණය කරති.

පවතින තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවය අඩපණ වීමේ අවදානමක් පවතින බැවින්, මේ පිළිබඳව රජය කඩිනම් තීරණයක් ගත යුතු බව බස් රථ සංගම් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වීම සහ ඇතැම් පිරිස් අනීතික ලෙස ඉන්ධන රැස් කිරීමේ ජාවාරම්වල නිරත වීම නිසා මෙම තීරණය ගත් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ප්‍රවේසම්කාරී ලෙස තෙල් සංචිත කළමනාකරණය කළ යුතු බව රජයේ ස්ථාවරයයි.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) හරහා ඉන්ධන නිකුත් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *