බාල ගල් අඟුරු භාවිතයෙන් බලාගාරයට හානියක් නෑ… වරද තියෙන්නේ ගල් අඟුරු ප්‍රමිතිය මනින ආකාරයෙයි…! – කෝප් සභාපති…

March 14, 2026 at 9:45 am | by emanisa.lk

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සිය නිල ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.

කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයට, පොදු ව්‍යාපාර කාරක සභාව ලෙස නිරීක්ෂණ චාරිකාවක මා ඇතුලු සාමාජික මන්ත්‍රීවරුන් සහ නිළධාරීන් පිරිසක් සහභාගි වුණෙමු. එහි අරමුණ මේ දිනවල ජාතික විදුලි ජනනයට බලපෑමක් සිදු කර ඇති ගල් අඟුරු තොගවල ආනයන ක්‍රියාවලිය සහ එම තොග නිසාවෙන් බලාගාරයේ යන්ත්‍රවලට හානි සිදු වී ඇති බවට පැතිර යන පුවත් වල සත්‍යතාව පරීක්ෂා කිරීමයි.

එහිදී ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් අප සමඟ නිරීක්ෂණ චාරිකාවට අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සිදු කළ අතර, ඔවුන් විසින් තහවුරු කරන ලද්දේ මේ වන විට බලාගාරයේ යන්ත්‍රවලට ආනයනය කළ ගල් අඟුරු භාවිතය නිසා හානියක් සිදු වී නොමැති බවයි.

ආනයනය කළ ගල් අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමට දැනට යොදාගන්නා ක්‍රමවේදයේ ගැටලු ඇති බව අපට නිරීක්ෂණය වූ අතර එහිදී අහඹු ලෙස ලබාගන්නා ලද සාම්පල විද්‍යාගාර වෙත යැවීමට කුරියර් සේවාවක් භාවිත කිරීම, ගැටලු සහගත බව විශේෂයෙන් නිරීක්ෂණය කරන ලදි.

ජනතාවගේ එදිනෙදා ජීවිතයට බාධා පමුණුවන අන්දමින් කිසිවක් සිදු නොවන්නට රාජ්‍ය ව්‍යාපාර කටයුතු කළ යුතු අතර, ඒ සඳහා පවතින ක්‍රමවේදවල අඩුලුහුඬුකම් සකසාගෙන නව ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය.

කෙසේ වෙතත් ආනයනය කරන ලද ගල් අඟුරුවල තත්ත්වය, ලක් විජය බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයන්වල නොපවතින එබැවින්, එය අයුතු ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ලද්දක්ද නොඑසේ නම් වෙනත් අරමුණු සහගතව සිදුකරන ලද්දක් ද යන්න ඉදිරියේදී කෝප් කමිටුව හරහා සාකච්ඡා කරන බවත්, මේ අවස්ථාවේ පමණක් නොව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා සියලුම තොරතුරු ඉදිරියේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් | COPE – The Committee on Public Enterprises) හමුවට කැඳවීමට කටයුතු කරන බවට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *