යුද්දේ ඉවර වුණ ගමන් ඉන්ධන මිල අඩු කරනවා… භාණ්ඩ මිල ඉහළ ගියත් ආණ්ඩුව ජනතාව පැත්තේ…! නි. ඇමති ටී.බී. සරත්….

March 13, 2026 at 12:37 pm | by emanisa.lk

ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල, එම යුදමය තත්ත්වය අවසන් වූ පළමු මොහොතේදීම යළි අඩු කරමින් එහි සහනය ජනතාවට ලබාදීමට රජය සහතික වන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

මෙය සදාකාලික මිල වැඩිවීමක් නොවන බවත්, පවතින ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයකදී ජනතාව අතරමං නොකරන මහජන ආණ්ඩුවක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවත් හෙතෙම අවධාරණය කරයි.

ඉන්ධන පෝලිම් පිළිබඳ අනියත බියක් ඇති කර ගනිමින් කලබලයට පත් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා, ඉතාමත් බුද්ධිමත්ව සහ සාමූහිකව රජය සමඟ එක්ව මෙම අසීරු අවස්ථාවට මුහුණ දිය යුතු බව ද පෙන්වා දුන්නේය.

ලෝක දේශපාලන තත්ත්වයන් මත ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යා හැකි වුවද, රජය සැම විටම ජනතාවගේ පාර්ශ්වයෙන් සිට ගනිමින් සහන සැලසීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කරයි.

මෙවැනි ගෝලීය ව්‍යසනයන්ට සාර්ථකව මුහුණ දිය හැක්කේ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ගම් මට්ටමින් කර්මාන්ත සංවර්ධනය කරමින් වැඩපිළිවෙළ හරහා ජාතික ආර්ථිකයට දායක වීම වැදගත් බව පෙන්වා දෙයි.

දැනටමත් රටේ විදේශ සංචිත සහ භාණ්ඩාගාරය පොහොසත් වෙමින් පවතින බවත්, රජය ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.

තවද, පාර්ලිමේන්තුව තුළ 159ක ප්‍රබල බහුතරයක් සහිත මෙම ආණ්ඩුව සෙලවිය නොහැකි බවත්, ඉදිරි වසර හතරක කාලය තුළ ශක්තිමත් නායකත්වයක් යටතේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට රජය කැපවී සිටින බවත් නි. අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *