ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය ද මෙරටට බාල ගල්අඟුරු සැපයූ බව කියන සමාගමට ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ එම පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මෙම ටෙන්ඩරය එම සමාගමට ලබාදීමට සූදානම් වීම පසුපස සැකයක් ඇති බවයි.
අප්‍රේල් 20 වැනිදාට පෙර කෙසේ හෝ මෙම ගල්අඟුරු තොගය මෙරටට ගෙන්වා ගත යුතු බවත් වාරකන් සමයේදී ගල්අඟුරු ගෙන ඒමට නොහැකි බවත් හෙතෙම පැවසුවේය.
පුබුදු ජාගොඩ එහිදී වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේය.
“ආණ්ඩුව මාර්තු 11 වැනිදා ගල්අඟුරු නැව් පහක් සඳහා හදිසි ස්ථානීය ටෙන්ඩරයක් කැඳවනු ලැබුවා. ඒ අනුව එම ටෙන්ඩරය සඳහා සමාගම් හතරක් ඉල්ලුම් කර තිබෙන අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම බව දැනගන්නට ලැබී තිබෙනවා. අපට ස්ථානීය ටෙන්ඩර් කැඳවීමකට යන්න වුණේ මෙම සමාගම බාල ගල්අඟුරු ලබාදුන් නිසා සහ එම සමාගමට අපට අවශ්‍ය වෙලාවට ගල්අඟුරු සැපයීමේ ධාරිතාවක් නැති නිසයි. එම අපකීර්තිමත් සමාගමටම තවත් නැව් පහක් සඳහා ටෙන්ඩරය ලබා දීම සදාචාරවත් නොවනවා පමණක් නොව එමගින් ශ්‍රී ලංකාව විශාල අර්බුදයකට ද මුහුණ දෙනවා.
මේ අතර මීට පෙර හැමදාමත් ගල්අඟුරුවල ප්‍රමිතිය නිර්ණය කිරීමේදී Reject Value හෙවත් ප්‍රතික්ෂේප සීමාවේ අගය නම් අගයක් තිබුණා. සරලව කියන්නේනම් ගල් අඟුරු කිලෝ ග්රෑමයකින් කිලෝ කැලරි 5900ට වඩා අඩු ශක්තියක් ජනනය වන ගල්අඟුරු අප ප්‍රතික්ෂේප කරනවා. අළු ප්‍රතිශතය සියයට දාසයට (16%)ට වැඩි ගල්අඟුරු ප්‍රතික්ෂේප කරනවා. නමුත් ආණ්ඩුව මෙවර ඒ ප්‍රතික්ෂේපිත අගයට වඩා අඩු ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු භාර ගත්තා. ඒ විතරක් නොවෙයි බාල ගල්අඟුරු භාරගන්න පුළුවන් විදියට ටෙන්ඩර් පිරිවිතර වෙනස් කරලා. මෙවර ස්ථානීය ටෙන්ඩරයේ ප්‍රතික්ෂේපිත අගය සීමාව (Reject Value) යන වචනය අවම අගය (Minimum Value) ලෙස වෙනස් කරලා. අන්තිමට බාල ගල්අඟුරුවල බර ජනතාවට දරන්න වෙනවා විතරක් නෙවෙයි රටේ ප්‍රසම්පාදන රේගුලාසිත් බාල කරලා. කොහොම හරි මේ ඉන්දියානු සමාගමටම ටෙන්ඩරය දෙන්නයි මාන බලන්නේ.
සමාගම් කිහිපයක්ම මෙම ටෙන්ඩරයට ඉදිරිපත්වෙලා තිබුණත් ගල්අඟුරු කිලෝ එකක් ලබාදෙන්න පුළුවන් වැඩිම මිල ඉදිරිපත් කළ ඉන්දියානු සමාගමටම තමයි මේක දෙන්න හදන්නේ. ඔවුන් රුපියල් එකසිය විසි එකයි ශත පනහක් කියල තියෙනවා කිලෝ එකකට. නමුත් වෙනත් සමාගම් කියල තියෙන්නේ රුපියල් අසූ තුනයි ශත පනහකට. මේ සමාගමට හදිසි ස්ථානීය ටෙන්ඩරය ලබාදීමට සහ ගල්අඟුරු ප්‍රමිතියට අදාළ පිරිවිතර වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා.
මේ වසර සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු නැව් 25ක් ආනයනය සඳහා 2025 සැප්තැම්බර් මාසයේදී ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගමකට ටෙන්ඩරය ලබා දුන්නා. එම සමාගමටම ටෙන්ඩරය ලබාදීමේදී යම් විශේෂ අනුග්‍රහයක් තිබුණේද හා උක්ත සමාගමටම එම ටෙන්ඩරය ලබාදීමේ අරමුණෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළේද යන ප්රශ්නය මතුවුණා.
අප 2025 අගෝස්තුවේ සිට මෙම සමාගම ගැන කියූ දේ සනාථ කරමින් එම සමාගමෙන් ගෙන්වූ ගල්අඟුරුවල ප්‍රමිතිය බාල වූ අතර එමගින් විශාල පාඩුවක් සිදු වුණා. ඒ වගේම එම සමාගමට අවශ්‍ය කාලයට ගල්අඟුරු සපයන්න බැරි වුණා. 2025 දෙසැම්බර් දෙවැනි සතියේ පළමු නැව ගෙන එන බව පැවසුවත් එය පැමිණියේ දෙසැම්බර් අවසානයේ. අප මේ ඉන්නේ මාර්තු මැද. තවමත් පැමිණ ඇත්තේ නැව් 12යි. සති දෙකකින් පමණ ගල්අඟුරු නැව් පැමිණීම අඩාල වී තිබුණා. මේ හේතුව නිසා ශ්‍රී ලංකාව විශාල බලශක්ති හිඟයකට මුහුණ දීමේ අවදානමක් තිබෙනවා.
ලෝකයම වෙළාගත් යුද්ධයක් ඇති වෙලා තෙල් හිඟයක අවදානමක් තිබියදී ආණ්ඩුව මේ කරමින් සිටින්නේ මොකක්ද? පාසල් බස් එකකට, පාසල් වෑන් රථයකට, හදිසි ගිලන් රථයකට, පොදු ප්‍රවාහන මාධ්‍යයකට නිෂ්පාදනය වෙනුවෙන් වෙන් කරන්න තිබෙන ඩීසල් ටිකෙන් රෑට ලයිට් දාගෙන ඉන්න වෙනවා. නැතිනම් තව මාසයකින් දෙකකින් කළුවරේ ඉන්න වෙනවා. ඩීසල් ආනයනය කරන්න ලැබුණත් විදුලි ගාස්තු උහුලන්න බැරි තරම් වැඩි වෙනවා. ඒ සියලු විනාශයන්ට මග පෑදූ ඉන්දියානු සමාගම සහ රජයේ බලධාරීන් යහතින් ඉන්නවා. විපක්ෂය සොරකම් ගැන රහස් පරීක්ෂණ කරමින් සිටිනවා. ජනතාව දේශපාලනයේ සුක්කානම අතට ගන්නේ නැතිනම් අලුත් අයිතිවාසිකම් දිනාගැනීම කෙසේ වෙතත්, රට සංවර්ධනය කිරීම කෙසේ වෙතත්, මෙතෙක් ජීවත් වූ මට්ටමවත් ආරක්ෂා කර ගන්න බැරි වෙයි.”
අශිකා ජයවීර
– Aruna